April 20, 2024

විජයදාස ස්වාධීන වෙයි - ඉදිරි දේශපාලන ගමන ලඟදීම ප්‍රකාශයට

අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට අයුතු ලෙස බලපෑම් නොකොට ඒවාට ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා තමාව අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කළ බව හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා පවසයි.

ඊයේ(23) දහවල් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකොට නික්‌ම යන මොහොතේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.

එහිදී රාජපක්‌ෂ මහතා සඳහන් කළේ තමන් අමාත්‍යධූරයෙන් ඉවත් නොවූ බවත් ඉවත් කළ බවත්ය.

තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් තවමත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක් බවත් තමා ස්‌වාධීනව කටයුතු කරන බවත් පෙන්වා දුන් ඒ මහතා තමා දේශපාලන වශයෙන් ගන්නා තීරණ ළඟදීම දැනගැනීමට හැකි බවත් කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විජයදාස රාජපක්‍ෂ මහතා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධුරවලින් ඊයේ (23) පෙරවරුවේ ඉවත් කිරීමට පියවර ගත්තේය.

එම ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විජයදාස රාජපක්‍ෂ මහතාට භාරදී ඇති බව ආරංචි මාර්ග පැවසී ය.

විජයදාස රාජපක්‍ෂ මහතා කැබිනට්‌ මණ්‌ඩල සාමූහික වගකීම කඩ කිරීම සහ පසුගිය රජයේ දූෂණ වංචාවන්ට සම්බන්ධ චූදිතයන්ට එරෙහි නඩු විභාගය කල්දැමූ බවට එක්‌සත් ජාතික පක්‍ෂය ඒකමතිකව තීන්දු කර තිබිණි. එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය පසුගිය 17 වනදා ඒ පිළිබඳව ඇමැතිවරයාට එරෙහිව විශ්වාසය කඩකිරීමේ යෝජනාවක්‌ද සම්මත කර ගන්නා ලදී.

අනතුරුව ඒ මහතාට සිය ඇමැතිධුර වලින් ඉවත්වීමට දින දෙකක්‌ ලබා දුන් නමුත් විජයදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌වූවේ නැත.

ඒ අනුව පක්‍ෂය ගත් තීරණය බලාත්මක කරන ලෙස දන්වා එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් පෙරේදා (22) ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්‌ද යවා ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෑවූ ලිපිය අනුව ඊයේ ජනපතිවරයා සිය විධායක බලතල භාවිත කරමින් විජයදාස රාජපක්‍ෂ මහතා ඔහු දැරූ සියලු ඇමැති ධුරවලින් ඉවත් කළේය.

මෙලෙස විධායක ජනපති බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ද ඇමැතිවරුන් ඉවත්කර ඇත. එසේ ඉවත් කළේ මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි යන හිටපු ඇමැතිවරුන්ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 August 2017 10:25