March 29, 2024

“එජාපය හැසිරුණේ මාළු කඩයක් වගේ“ විජේදාසගෙන් චෝදනාවක් - විජේදාස ගැන එජාපයේ තීන්දුව අද

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද(21) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක්ද සම්මත වී තිබිණි.

මේ නිසා ඔහු අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ඔවුන්ගේ මතය වී තිබූ අතර පැය 03 කට ආසන්න කාලයක් පැවති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

කෙසේ වෙතත් එම රැස්වීස උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බව වාර්තා වෙයි.

එජාපය මාළු කඩයක් වගේ

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පෙරේදා (19) මල්වතු - අස්‌ගිරි මහානායක ස්‌වාමීන්වහන්සේලා බැහැදැකීමට පැමිණි අවස්‌ථාවේදී අදහස් පළ කළේය.

දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීමට තමා විරුද්ධ වීම සාමූහිකත්වය කඩ කිරීමක්‌ යෑයි චෝදනා කරමින්, එක්‌සත් ජාතික පක්‍ෂය හැසිරුණේ මාළු කඩයකදී රණ්‌ඩුවන පිරිසක්‌ ලෙස බවත්, ඩී. එස්‌. සේනානායක මහතා ආරම්භ කළ එජාපය මෙයදැයි තමාට හැඟුණු බවත්, බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤණරතන ස්‌වාමීන් වහන්සේ වෙත පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවන සංශෝධනයට පාර්ලිමේන්තුවේදී එකඟවීමට අමාත්‍ය මණ්‌ඩලය ඒකමතිකව තීරණය කොට පැය හතළිස්‌ අටක්‌ ගතවීමට මත්තෙන් ඊට විරුද්ධ විය යුතුයි කියා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් තීරණය කොට තිබෙන බවද සාමූහිකත්වය කඩ කිරීම යනු එවන් සිද්ධීන් බවත් අමාත්‍යවරයා මහනායක හිමියන් හමුවේ ප්‍රකාශ කළේය.

දේශීය සම්පත් විදේශිකයන්ට බදු දීම හෝ විකිණීම අතර වෙනසක්‌ නැති බවත්, තමා නිරතුරුවම රට ගැන සිතා තීරණ ගන්නා බවත් හෙතෙම පැවැසීය.

“2003 දී, සබරගමුව බස්‌නාහිර ඇතුළු ලංකා ගමනාගමන මණ්‌ඩලය රුපියල් මිලියන 860 කට විකිණුවා. නමුත් මම දින ගණනාවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස්‌ විශාල සටනක්‌ කරලා ලංගමය බේරාගත්තා. ඒ සඳහා රජයේ නීතිඥවරුන් සමඟ තර්ක කළේ අපේ රටට මේ සම්පත් බේරලා දෙන්න ඕනෑ නිසායි. නඩුවේදී මම කතා කළේ සල්ලි ගන්නේ නැතුව. ඒත් රජයේ නීතිඥවරු සල්ලිත් අරන් නඩුවට ඉදිරිපත් වුණේ. එදා එජාපය රක්‍ෂණ සංස්‌ථාව රුපියල් 125 ක වටිනාකම තිබුණත් බිලියන 6 කට වික්‌කා. එය බේරගන්න මහින්ද රාජපක්‍ෂ මහතා විශාල වෙහෙසක්‌ ගත්තා. මා හට කිසිවකුගෙන් පළිගැනීමේ අවශ්‍යතාවයක්‌ නෑ. යැයිද අමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 August 2017 11:27