April 20, 2024

කරළියෙන් එහා: රවීගේ ඉරණම විජයදාසටත් - වි⁣දේශ ඇමති ධූරය ගැන මාරපන කණස්සල්ලෙන්

පසුගිය සතියේ කරළියෙන් එහා උණුසුම් වූයේ රවී කරුණානායක ඇමැතිවරයා ඉවත් වීමත් ඒ සමගම ඇමති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුව ඇතුලෙන්ම විශේෂයෙන් එජාප මන්ත්‍රීවරුන්ම විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම් වීමත් සමගය. ඊට විරෝධය පළ කරමින් ඇමති විජයදාස රාජපක්ෂ මහතාට සහය දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පෙරමුණ ගත්තේය. ඒ සමගම එක්සත් ජාතික පක්ෂය හදිසියේම සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වූ අතර ඒ සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද කැඳවා එය ඒකාබද්ධ රැස්‌වීමක්‌ වශයෙන් පැවැත්වීමට කටයුතු කර තිබිණි. වෙනත් දිනවල කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම සඳහා න්‍යාය පත්‍රයක්‌ තිබුණද ඊයේ න්‍යාය පත්‍රයකින් තොරව විශේෂිත රැස්‌වීමක්‌ ලෙස එය පැවැත්විණි.

කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී විජයදාසට දැඩි චෝදනා

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙහි තවදුරටත් කටයුතු කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක්‌ පත් කිරීමට තීරණය කළේය. විවිධ තර්ක විතර්ක හමුවේ මෙම රැස්‌වීම උණුසුම්කාරී විය. විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා සම්බන්ධව තීරණයක්‌ ගැනීමට අගමැති විසින් ඉදිරි දිනකදී මෙම විශේෂ කමිටුව පත් කිරීමට ඒ අනුව යෝජනා වී තිබේ. රාජපක්‍ෂවරුන්ව සහ පසුගිය රජයේ වංචනිකයින්ට එරෙහිව මෙතෙක්‌ හරිහැටි නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ ඇමැතිවරයා ඇතුළු නීති අංශ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ රැස්‌වීම කැඳවා තිබිණි. නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පළමුව අදහස්‌ දක්‌වා තිබේ. පසුගිය රජයේ හොරුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ ක්‍රියා නොකිරීම සම්බන්ධව නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අධිකරණ ඇමැති ඇතුළු නීති අංශ දැඩි දෝෂදර්ශනයට ලක්‌ කොට ඇත.

විජයදාසට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

අජිත් පී. පෙරේරා මහතාට අමතරව ගාමිණී ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, නවීන් දිසානායක, අශෝක්‌ අබේසිංහ, නලීන් බණ්‌ඩාර, රංජන් රාමනායක, රුවන් විජයවර්ධන, චන්දිම ගමගේ, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද මෙහිදී පසුගිය ආණ්‌ඩුවේ දූෂිතයින් මෙතෙක්‌ නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධව දැඩි ලෙස ආණ්‌ඩුවට දොස්‌ පවරමින් අදහස්‌ දක්‌වා තිබිණි. පසුගියදා විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂ උප නායක රවී කරුණානායක මහතා ද මෙහිදී වහාම හොරුන් ඇල්ලිය යුතු යෑයි ප්‍රකාශ කළේය. මෙහිදී බොහෝ මැති ඇමැතීන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්‌වන ලෙසත් ඔහු හිතාමතාම හොරුන් ඇල්ලීම ප්‍රමාද කිරීමට සහ නඩු යට ගැසීමට කටයුතු කරන බවටත් දැඩි ලෙස චෝදනා නගා ඇත.
යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඒකමතිකව අනුමැතිය ලද අතර ඒ පිළිබඳව සොයා බලා කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස අගමැතිවරයා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. එහි සෙසු සාමාජිකයන් ලෙස කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් නම් කරනු ලැබ ඇත. අධිකරණවල නඩු ප්‍රමාදය 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත් කිරීමට දායකවූ හැට දෙලක්‍ෂයක් ජනතාවට ද්‍රෝහිවීමක් බවත් නඩුවක් විසඳීමට වසර 10යි මාස 02ක කාලයක් ගතවීමේ වරදක් නොදකින අමාත්‍යවරයකු එම ධුරය දැරීමට සුදුසු නොවන බවත් එහිදී මැති ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී තිබේ. එහිදී කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් වූ මැති ඇමැතිවරුන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් අගමැතිවරයා රටේ අධිකරණ පද්ධතිය කාර්යක්‍ෂම කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට පසුබට නොවන බවත් මේ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන සඳුදා (21) වන විට එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය. රටේ නීතිය ශක්තිමත් කර ආරක්‍ෂා කිරීම, දූෂණ වංචා අක්‍රමිකතා වැළැක්වීම, පක්‍ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම, ලබන මස 06දාට නියමිත 71 වැනි සංවත්සරය සංවිධානය කිරීම, එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබේ.

මෙහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම තමාට කළ නොහැකි බවයි. එහෙත් එම ප්‍රකාශයට එහි සිටි කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් සාමාජිකයන්ද එක හෙළාම විරෝධය දක්‌වා ඇත. එමෙන්ම හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ පවරා ගන්නා බවට තමා ප්‍රකාශයක්‌ කළේ නැතැයිද මෙහිදී විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ එම ප්‍රකාශ පිළිගැනීමට කිසිවකු එකඟ නොවීය. මෙම විශේෂ රැස්‌වීම අවසානයේදී අගමැතිවරයා සහ විජයදාස රාජපක්‍ෂ මහතා පමණක්‌ වෙනමම විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම රැස්‌වීමේදී විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලකිරීම් එල්ල විය. ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන යටතේ කෙසේ හෝ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කොට හොරුන් ඇල්ලීමට ක්‍රියා කළ යුතු බවට ද මෙහිදී තීරණය විය. ඒ සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව අකිල විරාඡ් කාරියවසම් මහතා සඳහන් කළේය.

විජයදාස ඇමැතිකමෙන් දොට්ට දාන්න - අජිත් කියයි

“විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නෑ“ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා දැඩිව ප්‍රකාශ කළේය. අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු හදවතේ නැති අයකුට අධිකරණ අමාත්‍යධුරය දැරීමට නොහැකි බවද ඒ මහතා කියයි. “මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණා. එය නොවිය යුත්තක්. ඒ ක්‍රමය හොඳයි කියන අමාත්‍යවරයකුට අධිකරණ අමාත්‍යධුරය දරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ. “ කියා සිටි අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා “අද මුළු පක්ෂය ඒකමතික තීරණයක ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මතයක ඉන්නවා. සඳුඳා වෙද්දි හොඳ තොරතුරක් ඒවි. අපි අපේ සටන නවත්වන්නේ නැහැ. මෙය පුද්ගලයකුට එරෙහිව කරන සටනක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් නෙවෙයි.“
“මෙය මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක්. සුදුසු පුද්ගලයන්, යුක්තිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදුවිය යුතු බවට කැක්කුමක් තිබෙන පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි.“යැයි ඒ මහතා අවධාරණය කළේය.

කැබිනට් රැස්වීම රත්වෙයි

ඉකුත් රජය සමයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ මාතෘකාව නිසා පසුගියදා පැවැති කැබිනට් රැස්වීම තුළ උණුසුම් තත්ත්වයක් උද්ගතවිය. වත්මන් රජය පත්වී වසර දෙක හමාරක් පමණ ගතවී ඇතත් පසුගිය රජයේ සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැති බව ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමේදී චෝදනා කළේය. ඉදිරියේදී මැතිවරණවලටද යාමට තිබියදී එම දුෂණ වංචාවලට එරෙහිව පියවරක් නොගැනීම ගැටලූවක් බවත් මෙම තත්ත්වය හමුවේ ඇමැතිවරුන් වශයෙන් පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඇමැති ජයවික‍්‍රම පෙරේරා මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය. එබැවින් පසුගිය රජය සමයේ සිදුවූ වංචා දුෂණවලට එරෙහිව වහාම පියවර ගන්නැයි ජයවික‍්‍රම පෙරේරා මහතා ඉල්ලීමක් කර ඇත. රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය. ඉකුත් රජයේ සිදුවී ඇති වංචා දුෂණ ගැන සෙවීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නැයිද එම ඇමැතිවරුන් ඉල්ලීමක් කළේය.
කතාව මෙලෙස ඇදී යද්දී ඇමැති විජයදාස කරුණු ඉදිරිපත් කරන්නට විය. “විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න බැහැ. ඒ සදහා නීතිමය ප්‍රතිපාදන නැහැ. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන.“ යැයි විජයදාස ඇමැතිවරයා කියද්දී ඇතැම් ඇමැතිවරුන්ට කේන්ති ගියේය. “විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න බැරිනම් තිබෙන අධිකරණයක් විශේෂ අධිකරණයක් කරන්න පුළුවන්. ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය නෑ. මහාධිකරණයක් හෝ දෙකක් විශේෂිත කරලා නඩු අහන්න පුළුවන්. අපි යෝජනා කරන්නේ “ට්‍රයල් ඇට් බාර්“ එකක්. ත්‍රිපුද්ගල විනිසුරුවන්ගෙන් අධිකරණයක් ස්ථාපිත කරන්න පුළුවන්. උදේ හවස බැගින් දවස ගානේ නඩු අහන්න.“ යැයි රාජිත තරමක් උස් හඩින් කරුණු ඉදිරිපත් කළේය. එවිට පාඨලී චම්පික ඇමැතිවරයා ද මැදිහත් විය. “ මේවා යට ගැහුවේ දේශපාලන අවශ්‍යතාවයකට. ඉදිරි මැතිවරණයකදී ජනතාව මේවාට පිළිතුරු දෙයි.“ චම්පික කීවේය.

ජනපති මාරපනගෙන් ප්‍රශ්න කරයි

සියලු කරුණු අසාගෙන සිටි ජනාධිපතිවරයා නව විදේශ ඇමැතිවරයාගෙන් කරුණු විමසීය. ප්‍රධාන පෙලේ නීතිඥයෙකු වන තිලක් මාරපනගෙන් ජනාධිපතිවරයා ඇසුවේ විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ හැකිදැයි කියාය. “සර් විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න බැහැ. ඒ සඳහා ආණ්ඩුක්‍රම සංශෝධනයක් අවශ්‍යයි. හැබැයි පවතින ක්‍රමය තුළ යමක් කරන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා.“ යැයි නීතිමය තත්ත්වය තිලක් මාරපන ඇමැතිවරයා විග්‍රහ කරන්නට විය.
වංචා දුෂණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලිසිය භාර ඇමැති සාගල රත්නායක මහතාගෙන් විමසීමක් කළේය. “ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා“ යැයි සාගල රත්නායක ඇමැතිවරයා පවසා ඇත. වංචා දුෂණ නඩු ඇසීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඇමැතිවරුන් ඉදිරිපත් කළ යෝජනාව තමා නීතිපතිවරයාට යොමුකළ බව පවසා ඇති අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි නීතිපතිවරයා දන්වා එවා තිබූ බවද ප‍්‍රකාශ කර ඇත. එබැවින් ව්‍යවස්ථාව සංශෝධනය කර දෙන්නේ නම් තමාට වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා පවසා ඇතැයිද වාර්තාවේ.
විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුව පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතු දෑ ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද( 18) කොළඹ දී ප්‍රකාශ කළේය. රටේ ප‍්‍රතිරූපය හා නියම තත්ත්වය ලෝකයාට හරියට කියා දීමට තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් වලට හිතකර සහ විදේශ ආයෝජකයින්ට සුදුසු රටක් බවට පත් කරලීමට කැපවී කටයුතු කරන බවද නව විදේශ ඇමැති වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව වෙනුවෙන් නව සංවිධානයක්

“හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ“ නමින් නව සංවිධානයක් බිහිකර තිබේ. එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් ලෙස කටයුතු කරනුයේ ඩිලංක වීරකෝන් සහ බණ්ඩාර අතුකෝරාලය. ඔවුහූ කලක් යහපාලන ආණ්ඩුව බිහිකිරීම සඳහා ඇප කැපවී කටයුතු කළහ.
සම කැදවුම්කරු බණ්ඩාර අතුකෝරාළ මහතා සඳහන් කරන්නේ ජනවාරි 08 බලයට පත්වූ වර්තමාන පාලනයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට කිසිදු ජනවරමක් ලබාදී නැති බවත්, පොරොන්දු වී ඇති මනාප ක්‍රමය සහිත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වහා සිදුකල යුතු බවත්, අවධාරණය කර සිටියි. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ උතුරේත් දකුණේත් සෑම ජනවර්ගයකටම අයත් ජනතාව පිලිගෙන ඇති බවත්, පවත්නා ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්තිවලට අත නොතබන බවට මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහතික වී ඇති බවත් අවධාරණය කර සිටියි. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට චෝදනාවක් එල්ලවීමත් රවී කරුනානායක මහතා ඉවත් කිරීමත් සිදුවී ඇති බවත් බැදුම්කර වංචාව සම්බන්දයෙන් හඩනගන බොහෝ කණ්ඩායම් අමතක කරන කරුණක් ද ඇති බවත් සදහන් කරයි. එනම් මහබැංකු බැදුම්කර වංචාව සිදුවන මොහොතේ මහබැංකුව අදාල විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි. අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක අමාත්‍යවරයාගේ ඉවත්වීම යහපත් පූර්වාදර්ශයක් ලෙස පෙන්වීමට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකල බවත් හරිනම් ඉල්ලා අස්විය යුත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල අග්‍රාමාත්‍යවරයා බවත් අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කර වෙනත් වෙනත් පරමාර්ථ ඉටුකර ගන්නට කිසිවකු හෝ කටයුතු කරන්නේනම් ඊට එරෙහිව හැට දෙලක්ෂයේ කොටස්කරුවෝ නැගී සිටින බව ද සදහන් කලේය.

ජනමත විචාරණයක් - රාජිත

යෝජිත නව ව්‍යවස්ථාව සකස්කිරීමෙන් පසුව ඒ සඳහා ජනමත විචාරයක් පවත්වා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා එකඟවු බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අනිකුත් මැතිවරණයන් පැවැත්වීමට පෙර ජනමත විචාරයක් පැවැත්වෙනු ඇති බවද අමාත්‍යවරායා පැවසීය. “හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය“ පසුගියදා විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වු සත්‍යග්‍රහයට එක්වෙමින් අමැතිවරයා එසේ කීවේය. ‘‘එක් අයෙකු වටා තිබෙන බලතල මේරටේ මිනිසුන්ට බෙදී යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් අපි හදනවා. පාර්ලිමේන්තුව ව්‍යවසථාදායක මණ්ඩලයක් බවට පත්කර තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදනය ආරම්භකර තිබෙනවා. විමල්ගේ කණ්ඩායම හැරෙන්න මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් එහි සමාජිකයෝ. මේ ව්‍යවස්තාව සම්බන්ධයෙන් ජනමත විචාරයකට යන්න තිබෙන්නේ දැන්. අද වෙනකොට ජනාධිපතිතුමාත් එකඟවෙලා තිබෙනවා මේ ජනමත විචාරය පවත්වන්න‘ යැයි අමාත්‍යවරයා කීවේය.
යහපාලන ආණ්ඩුව‍ බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණ්ඩුව බලයට ගෙනඒමට දායකවු සිවිල් සංවිධාන සමාජිකයන් සහ ජනතාව එක්ව ආණ්ඩුවට බලකරීම සඳහා මෙම සත්‍යග්‍රහය පැවැත්විණි. අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න මහත්වරු ද ඊට එක්වූහ.

සම්බන්ධන්ගෙන් ජාත්‍යන්තරයට ලිපියක්

ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ඉල්ලා ද්‍රවිඩ සන්ධානය සියලුම තානාපති කාර්යාලවලට ලිතව දැනුම්දී ඇත. ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකාවේ කටයුතුවලට ජාත්‍යන්තරය මැදිහත් කිරීම සඳහා මෙයට පෙරද ඉල්ලීමක්‌ කරමින් යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා තිබුණි. ද්‍රවිඩ ජනතාව රජය කෙරෙහි තැබූ සියලු බලාපොරොත්තු බිඳ වැටී ඇති බවද ද්‍රවිඩ සන්ධානය තානාපති කාර්යාලවලට යොමුකළ සංදේශයෙන් පැමිණිලි කර ඇත.
ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් විසින් ඉදිරිපත් කර ඇති එම සංදේශයේ දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කටයුතු ගැන ජාත්‍යන්තරය නිහඬව නොසිටිය යුතු බවයි. මේ නිසා සංහිඳියා වැඩ පිළිවෙළට වහාම ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බවද ද්‍රවිඩ සන්ධානය කියා සිටී.

ජවිපෙ සීනුව අතහරී

ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා හුංගම බටඅත පැවැති ජනහමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ‘‘දැන් රට දැඩි ප්‍රපාතයකයි තිබෙන්නේ. මේ රට මේ පාලකයන්ට ගොඩ ගැනීමට නොහැකි බව නැවත නැවත පෙන්නුම් කරමින් යනවා. වසර හැත්තෑවක් පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගියා. මේ රට මේ විධියට තව දුරටත් යා යුතු නෑ. මේ රට ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ සදහා අපි මේ වන විට රටට ආදරේ කරණ විවිධ බුද්ධමතුන් සමග සංවාදයක නියෙලෙමින් යනවා. අපි ලබන වසර තුළ මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගය ගොඩ නගනවා. ඒ ගොඩ නැගීම තුළින් මේ පාලකයන් වසර 70 පුරා විනාශ කරන ලද රට ගොඩ නගා මේ රටේ තැලෙන පොඩි වෙන ජනතාවට නිදහස් රටක් ගොඩ නගන්නට කටයුතු කරනවා‘‘ යැයිද සමන්ත විද්‍යා රත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වරාය ගිවිසුම අත්සන් කිරීමේදී බරපතළ තාක්ෂණික දෝෂ

වරාය ගිවිසුම අත්සන් කිරීමේදී ඇතිවී තිබෙන බරපතළ තාක්ෂණික දෝෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡුාවකදී ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ, මෙහි ඇති නීතිමය තත්වයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමටය.
”වරාය ගිවිසුම අත්සන් කළ ආකාරය වැරදියි. කැබිනට් එකේ ගන්න තීරණයක් ක‍්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. අඟහරුවාදා කැබිනට් මණ්ඩලය වරාය ගිවිසුමට අනුමැතිය දෙන්නේ පාර්ලිමේන්තුවේ විවාදයෙන් අනතුරුව සෙනසුරාදා අත්සන් කිරීමටයි. නමුත් පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණේ නැහැ. අනෙක් කාරණය තමයි මේ සතියේ කැබිනට් තීරණවල මිනිට්ස්වලට අනුමැතිය ලැබෙන්නේ ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැුස්වීමේදී. වරාය ගිවිසුම අත්සන් කරනකොට මේ කිසිවක් සැලකිල්ලට අරගෙන නැහැ. කැබිනට් එකේ මිනිට්ස්වත් අනුමත කරලා නැතුවයි ගිවිසුම අත්සන් කළේ.” අනුර දිසානායක කියා සිටියේය. ”ඒ කියන්නේ මෙතන නීතිමය ප‍්‍රශ්නයක් මතුවෙනවා.” නීතිඥ සුනිල් වටගල කියා සිටියේය. ”අනෙක් පැත්තෙන් මේ ගිවිසුම වරාය අධිකාරියේ පනතට පටහැණියි. වරාය අධිකාරියේ පනතට අනුව වරායක් කිසිම අවස්ථාවක බදු දෙන්න බැහැ. හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් කළේ වරාය අධිකාරියේ සභාපතිවරයා නිසා ඒකෙත් නීතිමය ප‍්‍රශ්නයක් තිබෙනවා.” සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ධුරයද දරන සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. ”මේ කරුණු සැලකිල්ලට අරගෙන මේ ගිවිසුමේ නීත්‍යානුකූලභාවය ගැන විමර්ශනයක් කරන්න ඕනෑ. මේ ගිවිසුමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්න අවස්ථාවක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනෑ” විජිත හේරත් කීවේය. අනතුරුව එම කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා සුනිල් වටගල සමග නීතිඥ කණ්ඩායමකට වගකීම පවරනු ලැබිණි.

මත්තල ඉන්දියාවට

මත්තල ගුවන්තොටුපළද විකුණා දැමීමට ආණ්ඩුව දරන උත්සහය පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුවිය. ”ආණ්ඩුව දුවන්න සල්ලි නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ විකුණන් කන එක තමයි. හම්බන්තොට විකුණුවා වගේම මත්තලත් දෙන්න යන්නේ. වරාය ගිවිසුම අත්සන් කළාට පස්සේ අගමැති හරි ආඩම්බරෙන් තමයි මත්තල ගැනත් කිව්වේ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ආණ්ඩුව මත්තල දෙන්න යන්නේ ඉන්දියාවට. චීනෙට වරාය දුන්න නිසා රාජතාන්ත‍්‍රිකව සමබර කරගන්න ඉන්දියාවට මත්තල දෙන්න හදනවා.” විජිත හේරත් කීවේය. ”දැනට තියෙන තොරතුරු අනුව ඉන්දියාව මත්තල ගන්න හදන්නේ ගුවන් නියමුවන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත්කරන්නයි.

සයිටම් විරෝධී ගිනිගත් රාත‍්‍රිය

මේ අතර නීති විරෝධී සයිටම් ආයතනය පිළිබඳවද දැනට මතුවී තිබෙන තත්වය පිළිබඳව ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”ඇත්තටම ආණ්ඩුව සයිටම් ආයතනය නීත්‍යානුකූල කරගන්න හදන්නේ විදේශීය ආයෝජකයින් දිහා බලාගෙනයි. සයිටම් නීත්‍යානුකූල කරගත්තොත් ආණ්ඩුවට ආයෝජන විදියට විදේශ විශ්වවිද්‍යාලවලට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව සයිටම් ආයතතනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නේ.” විජිත හේරත් කීවේය. ”ආණ්ඩුව සයිටම් රෝහල පවරගත් ආකාරයත් සම්පූර්ණ ජනතාව, රටම මුළා කරපු එකක්. ඒකට අදාළ නීත්‍යානුකූල ගිවිසුමක් නැහැ. ආණ්ඩුවේ සල්ලි දාලා දැන් පවත්වාගෙන යනවා. රාජිතගේ වුවමනාවට හැමදේම කරනවා. ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම හොර ගුහාවක් වගේ. පහුගිය දවස්වල රවී කරුණානායකගෙ ප‍්‍රශ්නය නිසා සයිටම් සටන ගැන අවධානය අඩු වුණා. නමුත් මේ සටන ඉදිරියට ගෙනියන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. සයිටම් විරෝධී ජන පවුරෙහි ජවිපෙ නියෝජිතයා ලෙස කටයුතු කරන ලාල්කාන්ත ඉදිරි පියවරයන් පිළිබඳව ජන පවුර එළඹී ඇති තීරණ පිළිබඳව ජවිපෙ නායකයින් දැනුවත් කළේය. ”පීඨාධිපතිවරු සයිටම් ගැන මධ්‍යස්ථ යෝජනා මාලාවක් ගෙනාවා. ඒ ගැනවත් ආණ්ඩුවේ අවධානයක් නැහැ. මේ වෙනකොට විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන් 8000ක් මේ සටනේ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. එහෙම තියෙද්දී ආණ්ඩුව සයිටම් එකේ සිසුන් සුළු පිරිසක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේක පරාජයට පත්කළ යුතුමයි. අපි ඉදිරියේදී රට පුරා පන්දම් විරෝධයක් පවත්වන්න යෝජනා කරගෙන තිබෙනවා. ඒ වගේම ප‍්‍රධාන නගර කිහිපයක ඉඳලා කොළඹට රථවාහන පෙළපාලියක් එන්න තීරණය කළා. අලූත් වටයකින් මේ ජනතා විරෝධය මතුකරගන්න ඕනෑ.” ලාල්කාන්ත ඉදිරි ක‍්‍රියාමාර්ග විස්තර කළේය.

සමෘද්ධි කැපීමේ සමීක්ෂණයට කෝටි 13ක් විදයම් කරලා

ආණ්ඩුව විසින් සිදුකිරීමට යන සමෘද්ධි කප්පාදුවක් පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ අවධානයක් යොමු විය. ආණ්ඩුවේ ඇමතිවරුන් එහිදී කියා සිටියේ සමෘද්ධි කප්පාදුවක් සිදුකිරීමට කිසිසේත්ම ආණ්ඩුව කටයුතු නොකරන බවයි. නමුත් සත්‍ය තත්වය වූයේ, දේශපාලන බලපෑම් ලෙස ඇතැම් සමෘද්ධිලාභීන්ගේ දීමනාව අහෝසි කිරීමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් දියත් වන බවය. මේ සිදුවීමට ආණ්ඩුව අභ්‍යන්තරයේදී බරපතළ විරෝධයක් පැන නැගුණු අතර ආණ්ඩුව කිසිදු කප්පාදුවක් නොකරන බවට පසුගිය 16වැනිදා එස්.බී. දිසානායක ඇමතිවරයාට ප‍්‍රකාශයක් කිරීමට පවා සිදුවිය.
මේ පිළිබඳව සත්‍ය කරුණු සොයා බැලීම සඳහා විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේගෙන් විමසීමක් කළේය. ”ඇමතිවරයා මේක සමීක්ෂණ කණ්ඩායමකට භාරදුන්නා. ඇත්තටම ඒ අය කරපු සමීක්ෂණය අනුව සමෘද්ධි කපන්න තමයි දත්ත එකතු කළේ. සමෘද්ධිය කප්පාදු කරන්න පුළුවන් හැම දෙයක් ගැනම හෙව්වා. අන්තිමට පක්ෂවලින්, ජනතාවගෙන් විරෝධය ආවාම ඇමති ඒකේ වගකීම සමීක්ෂණ කණ්ඩායම පිට පැටෙව්වා. ඇමතිම කිවුවේ සමීක්ෂණ කණ්ඩායම වැඬේ වැරැුද්දුවා කියලා. මේකේ ලොකුම ප‍්‍රශ්නය වියදම් කරපු මුදලයි. රු. කෝටි 13ක් සමීක්ෂණයට වියදම් කරලා තියෙනවා. දැන් අන්තිමට ඒ වියදම් කරපු සල්ලි ගඟට කපපු ඉණි වගේ. මේ මුදල් ටිකත් සමෘද්ධිලාභීන්ට දෙන්න තිබුණ මුදල්” සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කරුණු විස්තර කළේය. ”මේ මුදල් කාබාසිනියා කරන වැඩවලට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා බලපෑමක් කරන්න ඕනෑ. මේ ගැන කෝප් කමිටුවෙන් හොයන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” විජිත හේරත් කියා සිටියේය.

දයා ගමගේ පොරොන්දු කඩලා... ගොවීන් යළි සටනේ

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමඟ දයා ගමගේ ඇමතිවරයා මීට පෙර පැවැති සාකච්ඡාවකදී ගම්මිරිස් ගොවියන් සහන ලෙස ගම්මිරිස් කිලෝව රුපියල් 900ක මුදලට මිලදී ගැනීමට එකඟතාවය පළකළේය. නමුත් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියද එම පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූයේ නැත. මේ සමඟ ගොවිජන සම්මේලනය පසුගිය හතරවෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ දින 10ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. මේ සමඟ ඇමතිවරයා පසුගිය 14වෙනිදා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා ගොවිජන සම්මේලනය ගම්මිරිස් ගොවියන් මෙන්ම මේ වනවිට බරපතළ ගැටලූවකට මුහුණ දී සිටින බුලත් ගොවියන්ද සහභාගි කරවා ගත්තේය.
”ඇමතිතුමා අපිට පොරොන්දු වුණා ගම්මිරිස් කිලෝවකට 900ක් දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව මිලදී ගන්නවා කිව්වා. ඒත් පොරොන්දු ඉටු කළේ නැහැ” සාකච්ඡාවේදී නාමල් කරුණාරත්න කියා සිටියා. ”ආණ්ඩුවට මිලදී ගන්න බැහැ. ප‍්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි එක ගොවියෙකුට කිලෝග‍්‍රෑම් 200ක් දක්වා සහනයක් දෙන්නම්. ඒ ප‍්‍රමාණය වෙළෙන්දන්ට විකුණනවිට රු.900 දක්වා හිඟ මුදල් ආණ්ඩුවෙන් ගෙවන්නම්.” ඇමතිවරයා කීවේය. නමුත් මෙය සංකීර්ණ ක‍්‍රියාවලියක් බැවින් ගොවියන් එයට එකඟ නොවූ අතර ඉදිරියේදී ආණ්ඩුව මැදිහත්වී ගම්මිරිස් මිලදී ගන්නා තුරු සටන් කරන බවට ගොවියන් විසින් තීරණයකට පැමිණ තිබේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 18 August 2017 17:02