April 25, 2024

කරළියෙන් එහා: රවීගේ හැරයාම පිටුපස කතාව - අර්ජුනගේ රහසක් මහින්ද හෙළි කරයි

පසුගිය සතියේ කරළියෙන් එහා උණුසුම් වූයේ රවී කරුණානායක මහතාට එල්ලවූ චෝදනා හමුවේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම පිළිබඳවය. බැඳුම්කර සිද්ධියෙන් හෙළි වූ කරුණු හා ආණ්ඩුවේම විවිධ පාර්ශවත් ඒකාබද්ධ විපක්ෂයත් දිගින් දිගටම සිදුකල බලපෑම් හමුවේ රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉවත්වී යාමට සිදුවිය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඒකමතික තින්දුවකට අනුව ඊයේ(10) පස්වරුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රී අසුනකට ගොස් අසුන් ගත්තේය. කෙසේ වෙතත් රවී කරුණානායක හිටපු විදේශ ඇමැතිවරයාට ඇමැතිධූරයෙන් ඉවත්ව යාමට පෙර ඉකුත් දින කිහිපය තුලදීම ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව මගින් රවී කරුණානායක මහතාට බලපෑම් එල්ලවිය. ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් පමණක් නොව එජාප ඇමැතිවරුන්ගෙන්ද රවී කරුණානායක මහතාට බලපෑම් එල්ලවී තිබිණි. විශේෂයෙන් එජාප පසුපෙල මන්ත්‍රීවරුන් පවා රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර තිබිණි.
රවී කරුණානායක ඇමැති ධූරයෙන් ඉවත්වීම දක්වා ඉකුත් දින කිහිපය පුරාම දේශපාලන කරළියේ විවිධ සිදුවීම් සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා සහභාගී නොවීය. මේ අතර ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේ ජනාධිපතිවරයා සහ ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් අතර ජනපති නිල නිවසේ පැවති හදිසි සාකච්ඡාවක දී විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. රවී ඉවත් නොකරන්නේ නම් විධායක බලතල උපයෝගී කරගෙන හෝ රවී ඉවත් කරන්නැයි ශ්‍රීලනිප ඇමැතිවරුන් ඉල්ලා තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන්ට දැනුම් දී තිබිණි. එදින පෙරවරුවේ පැවැති සතියේ කැබිනට්‌ රැස්‌වීමට පෙර ආණ්‌ඩු පක්‍ෂයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මෙසේ දැනුම් දුන්නේය. රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් මෙලෙස අගමැතිවරයා හමු වී තිබූ අතර බැඳුම්කර කොමිසම හමුවේ රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එසේ නොවුණහොත් එය වත්මන් යහපාලන ආණ්‌ඩුවට කැළලක්‌ බවත් මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද තමාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි අගමැතිවරයා ශ්‍රීලනිප ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත. පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් අතර එදිනම විශේෂ හමුවක්‌ සිදුවිය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් පසුව එම හමුව සිදුව තිබේ. එහිදී වත්මන් දේශපාලන ප්‍රවණතා සම්බන්ධව පැයක පමණ කාලයක්‌ කතාබස්‌ සිදුව ඇතැයි ද විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම ඒ සඳහා ගත යුතු හොඳම විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබිණි.

රවී කරුණානායක ඉල්ලා අස්වුවද බැඳුම්කර පලහිලව්වෙන් ආණ්ඩුවට ගැලවීමක් නැතැයිද රවී කරුණානායක ඉවත් වුවද ආණ්ඩුව යම් උගුලක හිරවී තිබෙන බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

එජාපය හැර නොයන බව සුළු පක්ෂ කියයි

එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂය කුමක් ප්‍රකාශ කළද 2020 වසර වනතෙක් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ සුළු පක්ෂවල කිසිඳු සහයක් නොලැබෙන බවද ප්‍රකාශ කළේය. “මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඉදලා කියනවා ආණ්ඩුව අද ගන්නව හෙට ගන්නවා කියලා.. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කියනවා. ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා බොහොම ඉක්මණට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා. අපි කියන්නේ පුළුවන්නම් කරන්න කියලා..“
“එක්සත් ජාතික පෙරමූණේ 105 ක් ඉන්නවා.. අපි කවදාවත් යන්නේ නෑ.. ඒ වගේම සුළු පක්ෂ කට්ටිය කවදාවත් යන්නෙත් නෑ.. ඉතිං කොහමද ආණ්ඩුව මාරු කරන්නේ.. කව්රුත් බය වෙන්න එපා 2020 වෙනකං මේ ආණ්ඩුව යනවා.. අපි අමාත්‍යාංශ බාරගෙන කෙළින් වැඩ කරනවා." යැයි තිගාම්බරන් ඇමැතිවරයා සඳහන් කරයි.

“සමෘද්ධි“ ප්‍රතිශෝධන වැඩසටහන ජනපති නවතයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (10) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එස්.බී ඇමැතිවරයා සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන පිළිබඳ එල්ල වී ඇති චෝදනා ගැන ප්‍රකාශයක් කර ඇත. සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහන නතර කිරීමට එහිදී ඇමැති එස්.බී දිසානායක මහතා එකඟවී තිබේ. සමෘද්ධි ප්‍රතිශෝධන වැඩසටහනට දැඩි විරෝධයක් සමෘද්ධිලාභීන්ගෙන් එල්ල වී ඇති බව ඇමැතිවරුන් එම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනට එම වැඩසටහන නතර කරන ලෙස එස්.බී දිසානායක ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

පළාත් සභා ඡන්දය කල් දැමීමට ශ්‍රීලනිපය විරුද්ධයි

එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට තීරණය කර ඇත. පළාත් සභා මැතිවරණය කල් දමා සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට හැකි වන සේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට රජය මීට පෙර තීරණය කර තිබිණි. එහෙත් පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට කළු ලපයක් විය හැකි බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඇමැතිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට දන්වා තිබේ.

බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක්

මේ අතර භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර වූ සාකච්ඡාවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ලිපිය බාර දී ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැතිවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා ඇති අතර බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.

ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මහින්ද පන්නන්න මහේන්ද්‍රන් සල්ලි බෙදලා

බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ “මහේන්ද්‍රන්ලා තමයි මාව පන්නන්න සල්ලි බෙදුවේ“. “බලාගෙන ඉන්න ඕනේ.තීරණයක් ගන්න ඕනේ නම් මෙච්චරකල් යන්න ඕනේ නෑනේ.මොන තීන්දුව ගත්තත් මේ ක්‍රියාවලිය අමතක කරන්න එපා.මේක පුද්ගලයකුගේ ක්‍රියාවලියක් නෙවෙයි.මිලියන ගණන්වල ගනුදෙනුවක් එක පුද්ගලයකුගේ මිලියන ගණන් වලට ලඝු කරන්න බැහැ.මහේන්ද්‍රන්ලා තමයි මාව පන්නන්න සල්ලි බෙදුවේ.ලංකාවට ඇවිල්ලා නෙවෙයි සිංගප්පූරුවට ගිහිල්ලා කට්ටිය ෆැලැට්වල ඉඳලා සල්ලි අරගෙන ආවේ.එනකොට සූට් කේස් අරන් ආවා.මොනවද දන්නේ නෑ ඒ සූට්කේස්වල තිබුණේ.මේ ආණ්ඩුවක 3න් 2ක බලයක් තියෙද්දිනෙ මේක ගෙනියන්න බැරුව දගලන්නේ තටමන්නේ.එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම ඒ පැත්තේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන ඉන්නවා,මුස්ලිම් පක්ෂයේ දෙමල පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දෙනවා ආණ්ඩුව ගෙනියන්න.මේ ඔක්කොම හංසයා වෙනුවෙන් කඩේ ගිය අය.එකනේ හැම කතාවකම අවසන් කරන්නේ අපිට බැනලා.අපි බොහොම පැහැදිලිව කියනවා වෙසක් පොහොය 2ක්.තවම එක වෙසක් පොහොයයි ගියේ.” යැයිද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දැන් අපිට ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ ජවිපෙන් - ඇමතිවරයෙක් කියයි

මේ දිනවල දේශපාලන කතා බහ යොමු වී තිබෙන්නේ රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි. රවී කරුණානායක ඇමතිවරයා මුදල් ඇමතිවරයාව සිටි කාලයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් පසුව අර්ජුන මහෙන්ද්‍රන්ගේ දියණියගේ සැමියා වන අර්ජුන් ඇලෝසියස් ව්‍යාපාරිකයා සමඟ ඇතිවූ මුදල් ගණුදෙනු පිළිබඳව ජනාධිපති කොමිසමේදී කරුණු අණාවරණය විය. මේ සිදුවීමෙන් පසුව රවී කරුණානායක ඇමතිවරයා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා විවිධ අවස්ථාවලදී ප‍්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායමද තීරණය කළේය.

මේ අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදී අනුර දිසානායක, විජිත හේරත් යන මන්ත‍්‍රීවරුන් සමඟ ආණ්ඩුවේ එජාප ඇමතිවරයෙක් රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කතාබහක යෙදී සිටියේය. ”මන්ත‍්‍රීතුමා දැන් ඉතිං ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිම. එක්සත් ජාතික පක්ෂයත් බිම. දැන් අපිට ඡන්දය ඉල්ලන්න වෙලා තියෙන්නේ ජවිපෙන් තමයි. පුළුවන්නම් අපිටත් තැනක් වෙන්කරලා තියන්න ලබන පාර ඡුන්දය ඉල්ලන්න.” යැයි එජාප ඇමතිවරයා කියා සිටියේය. මේ ස්ථානයට සරත් අමුණුගම ඇමතිවරයාද පැමිණි අතර එජාප ඇමතිවරයා කී කතාව විජිත හේරත් මන්ත‍්‍රීවරයා සරත් අමුණුගම ඇමතිවරයාටද කියා සිටියේ සිනා මුසු මුහුණෙනි. ”එජාපයේ අය කරන දේවල් නිසා දැන් ඒක තමයි කරන්න වෙන්නේ” සරත් අමුණුගම ඇමතිවරයා කියා සිටියේය.

ඒකාබද්දේ මන්ත‍්‍රීවරු හිස් කොලයකට අත්සන් තියලා

ඒකාබද්ධ විපක්ෂය විසින් අත්සන් කළා යැයි කියන විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සොයා ගැනීමට විජිත හේරත් මන්ත‍්‍රීවරයා කටයුතු කරන අතරේ ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ද මේ පිළිබඳව විමසා සිටියේය. එයට හේතුව වී තිබුණේ විශ්වාසභංග යෝජනාවේ නීතිමය ප‍්‍රශ්නයක් තිබෙන බවට ඇතිවූ විවේචනයක් නිසාය. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි. ඒ යෝජනාවේ ඇති කරුණු පිළිබඳව තමන් නොදන්නා බවකි. ඒ පිළිබඳව කරුණු දැන සිටියේ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පමණි. එයට හේතුව වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අත්සන් කර තිබුණේ හිස් කොලවලට වීමය. අත්සන් ලබාගැනීමෙන් අනතුරුව යෝජනාව සකස් කර ඇති බව විජිත හේරත් මන්ත‍්‍රීවරයාට පසුව දැනගන්නට ලැබිණි.

කුණු පොල් ගෙඩියේ කොයි බෑයත් එකයි

දූෂණ විරෝධී හඩ සංවිධානයේ විශේෂ හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු එම සංවිධානයේ සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්විය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ ආණ්ඩුව වංචා දූෂණ යටගසමින් හොරු ආරක්ෂා කරන පිළිවෙත ජනතාවට හෙළිදරව් කළ යුතුය යන්නය. ”පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කියලා බලයට ආපු මේ ආණ්ඩුව දැන් වංචා දූෂණ යටගහනවා. එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවත් ආපු දවසේ ඉඳලා කරන්නේ වංචා දූෂණ නිසා. දූෂණ මර්දන කමිටු කාර්යාලය වහලා පටන් ගත්තේ ඒක.” වසන්ත සමරසිංහ කීවේය. ”ඔව්, දැන් බැඳුම්කර වංචාව නිසා මේ ආණ්ඩුවට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ. දැන් ආණ්ඩුවට සිදුවෙලා තියෙන්නේ පරණ හොරුයි අලූත් හොරු ආරක්ෂා කරන්න වෙන එක. දැන් රවි කරුණානායක තියාගන්නවද අයින් කරනවද කියන ප‍්‍රශ්නෙට ආණ්ඩුව මුහුණ දීලා. අපූරු වැඬේ කියන්නේ රවී ඉවත් කරලා දාන්න යන්නේ තිලක් මාරපන” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ඇවන්ගාඞ් වංචාව නිසා ඉල්ලා අස්වුණු තිලක් මාරපන බැඳුම්කර ගනුදෙනුව නිසා ඉල්ලා අස්වෙන රවී වෙනුවට පත්කරන්න තරම් මේ ආණ්ඩුව බංකොළොත් වෙලා. අර කතාවක් තියෙනවා කුණු පොල් ගෙඩියේ කොයි බෑයත් එකයි කියලා. මේ ආණ්ඩුවේ හොඳ ඇමතිවරු හොයන්නේ කොහෙන්ද?” වසන්ත සමරසිංහ කීවේය. ”අපි මේ හොරු ගැන හෙළිදරව් කරන්න ඕනෑ. දඩුවම් දෙන පොලිසියේ උසාවියේ වැඩක් නමුත් මේවා ජනතාව දැනගන්න ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. මේ අනුව හොරු රකින හොරු හෙළිදරව්ව නම් තේමාව යටතේ පසුගිය ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් වංචා දූෂණ ගැන සියලූ තොරතුරු ඉදිරියේදී එකින් එක හෙළිදරව් කිරීමට දූෂණ විරෝධී හඩ සංවිධානය තීරණය කළේය.

ජනාධිපති කොමිසම් පත්කරන්න ජනාධිපති බය වෙලාද?

මීට මාස දෙකකට පමණ ඉහතදී උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විශාල කතා බහක් ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා රටට ප‍්‍රකාශ කර තිබුණේ විශේෂ නියෝජිතයින් පිරිසක් ගෙන්වා උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව ලබාගන්නා විශේෂඥ වාර්තාවකින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි. නමුත් පසුගියදා නොර්වේ නියෝජිතයින් පිරිසක් පැමිණ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව කියා සිටියේ එම ව්‍යාපෘතියට නිසි පරිසර අගයීම් වාර්තාවක් හෝ සක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස් කර නොමැති බවයි. නමුත් එම නියෝජිතයින් කියා තිබුණේ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම ප‍්‍රශ්නයක් නොවන බවයි. නමුත් මේ පරස්පරතාව සමන්ත විද්‍යාරත්න විසින් ප‍්‍රශ්න කළේය. නමුත් එයට නිසි ප‍්‍රතිචාරයක් ලැබී නොතිබිණි. මේ පිළිබඳව විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමන්ත විද්‍යාරත්නගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ප‍්‍රශ්නය තිබුණේ පරිසර ඇගයීම් වාර්තාවක් නොතිබුණ එක. දැන් ආපු විශේෂඥයොත් ඒ බව කියනවා නමුත් මේක නවත්වන්නේ නැත්තේ ඇයි?” විජිත හේරත් විමසා සිටියේය. ”අපිටත් තියෙන ප‍්‍රශ්නය ඒක තමයි. අපි මීට කලින් ජනාධිපතිතුමා හමුවුණාම කිව්වා මේ ව්‍යාපෘතිය ගැන ජනාධිපති කොමිසමක් දාන්න කියලා. එතකොට කිව්වා පිටරටින් විශේෂඥයෝ ගේනවා කියලා. ගෙනාවට පස්සේ ඒ අය කියනවා ප‍්‍රශ්නයක් තියෙනවා නමුත් කරගෙන යන්න කියලා. ඒක නිසා තමයි අපි කිව්වේ ජනාධිපති කොමිසමක් දාන්න කියලා. ඒත් දැන් ජනාධිපතිතුමා කොමිසම් දාන්න බයවෙලාද කොහෙද? බැඳුම්කර වංචාවෙන් හොරු ටික හෙළි වුනා වගේ උමා ඔය ව්‍යාපෘතියට වගකිව යුතු අය හෙළිවෙයි කියලා එතුමා බයවෙලා ඇති. ඒ නිසා කොමිසම් පත්කරන්නේ නැහැ” සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.

Rate this item
(5 votes)
Last modified on Friday, 11 August 2017 15:45