April 19, 2024

රවීට ඉල්ලා අස්වෙන්නැයි ජනපති කියයි - රවී නෑ කියයි

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කළේ පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා තමන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝෂියස් මහතා අතර පැවති සම්බන්ධය පසුගිය 2 වැනිදා මහ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ හමුවේ අවධානයට ලක්විය.

අර්ජුන් ඇලෝෂියස් මහතාගේ සමාගමකට හිමිව තිබූ නිවසක අමාත්‍යවරයා පදිංචිව සිටීම සම්බන්ධයෙන් එදින කොමිසම හමුවේ සාක්ෂි විමර්ශනය කෙරුණු අතර, එහිදී රවී කරුණානායක මහතා පැවසුවේ තමන් මුදල් අමාත්‍ය ධුරය දරන සමයේ අදාළ නිවසේ මාස 9 ක් පදිංචිව සිටි බවයි.

ඊට අමතරව අර්ජුන් ඇලෝෂියස්ගේ ජංගම දුරකථනයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් කෙටි පණිවුඩ රැසක අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම සඳහන් බවට නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමට දැනුම්දී තිබේ. එම පණිවුඩ අතරට, මුදල් මණ්ඩලයේ රැස්වීම් සම්බන්ධ වාර්තා ලබාගැනීම, බැඳුම්කර නිකුතු යන කරුණු  ඇතුලත් වේ.

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වසර 10 ක පමණ කාලයක සිට අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වා ඇති රවී කරුණානායක මහතා ඔහු සමග අවස්ථා 13 කදී එකම දින වකවානුවල සිංගප්පූරුවේ සංචාරය කර ඇති බව තහවුරු කළ හැකි බවයි.

මෙම කරුණු බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වීමත් සමග පසුගිය 3 වැනිදා අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනෙකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 August 2017 14:00