April 20, 2024

කරළියෙන් එහා: මහින්දට චීනයෙන් ආරාධනයක් - ඒකාබද්ධයේ යෝජනාවට එජාප ප්‍රබලයින් 5කගේ කැමැත්ත

පසුගිය සතියේ කරළියෙන් එහා උණුසුම් වූයේ හම්බන්තොට වරාය ගිවිසුම සහ රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවත් නිසාය. හම්බන්තොට වරායේ තිබෙන තෙල් ටැංකි 11ක් සහ ජැටි දෙකක් ඛනිජ තෙල් සංස්ථාවට පවරා දෙන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දේශපාලන පොරපිටිය උඩුයටිකුරු කර තිබිණි. ජවිපෙ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිද පූර්ණ සහය පළ කර තිබිණි. එහෙත් ආණ්ඩුව එම ගිවිසුම අත්සන් කිරීම ආපස්සට හැරවීමට කටයුතු නොකළේය. ආණ්ඩුව කලින් සලසුම් කළ ආකාරයටම චීන සමාගමත් සමග ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කළේය. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාලව පත්කළ කොමිසම හමුවේ හිටපු මුදල් ඇමැති වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක සාක්ෂි දීමත් සමග හා ඇමැතිවරයා සම්බන්ධයෙන් අනෙක් සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුත් හේතුවෙන් දේශපාලන කරළියේ මෙන්ම සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. රටේ බොහෝ දෙනෙකු බැඳුම්කර කොමිසම හා එහි වාර්තාව පිළිබද බලා සිටින බවක් පෙනීයයි. බැඳූම්කර කොමිසමේදී හෙළිවූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් දේශපාලනඥයෝ මේ වන විට විවිධ ගතු කියමින් චෝදනා කරමින් සිටිති.

සජිත්ගෙන් චෝදනාවක්

මේ අතර උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන සහිතව වාහන ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවිය. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද තීරුබදු සහන සහිතව වාහන ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමිවන අතර ඒ අනුව උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන්ටද එම වරප්‍රසාදය ලබා දීමට පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළේය. කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීත් ඉන් පිටතදීත් එම චෝදනාට ඉදිරිපත් කර තිබිණි. “ජනාධිපතිතුමිනි, සමෘද්ධි නිලධාරීන් ගැන ප්‍රශ්න තිබෙනවා. ඇතැම් සමෘද්ධි නිලධාරීන්ට දැනටමත් නොනිල මට්ටමින් පළාත් පාලන ආයතනවලට ඡන්දය ඉල්ලන්න ඒකාබද්ධ විපක්ෂය පොරොන්දු වෙලා.බහුතරයක් සමෘද්ධි නිලධාරීන් වැඩ කරන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ආකාරයටයි. සමෘද්ධි වැඩපිළිවෙලේ අරමුණ කඩාකප්පල් වෙන ආකාරයට මේ අය වැඩ කරනවා. සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු සැබෑ පුද්ගලයින්ට ලැබෙන්නේ නෑ. ඒ චෝදනාව ආණ්ඩුව පිට දාන්න මේ අය වැඩ කරනවා. “ ආදී වශයෙන් සජිත් ප්‍රේමදාස කරුණු ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයාද ඇමැතිවරයාගේ අදහස අනුමත කළේය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ සමෘද්ධි ප්‍රතිලාභීන් පිළිබඳ නැවත සලකා බැලීමක් අවශ්‍ය බවයි.

මඩ පිට මඩ: තිගාම්බරම් - රංගා ගැටුමක්

දිගින් දිගටම සිරස මාධ්‍ය තමන් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර දියත් කරමින් සිටින බැවින් පසුගියදා හැටන්හි දී පැවැති උත්සවයේදී සිරස මයික්‍රෆෝනය ඉවත් කළ බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ප්‍රකාශ කළේය. සිරස මාධ්‍යජාලයේ සේවය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ.සී රංගා තමන්ට සහ තම පවුලේ උදවියට මෙලෙස මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමන් කඳුරට අමාත්‍යාංශය භාරගත් පසු වැවිලි ප්‍රජාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒවායේ අඩුපාඩු මාධ්‍ය මඟින් පෙන්වාදීම තමා වරදක් ලෙස නොදකින බවයි. නමුත් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කිරීම සදාචාර සම්පන්න නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මාධ්‍ය නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය තමන් පිළිගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජේ සී රංගා ඇතුළු සිරස මාධ්‍යජාලය සිය මාධ්‍ය නිදහස අයුතු ලෙස භාවිත කරන බවයි. තමා කිසිදිනෙක දූෂණ වංචාවලට සම්බන්ධ වී නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මහින්දට චීනයෙන් ආරාධනයක්

ගෙවීගිය සතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාර්ය බහුල සතියක් වී තිබිණි. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පිහිටි නිල නිවසට නිතර නිතර දෙස් විදෙස් අමුත්තන් පැමිණෙන්නට වූහ. තායිලන්තයේ වැඩ වසන අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමියන් වැඩම කර සිටියේ චීන භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගය. එම කණ්ඩායමට චීන ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටියහ. එහිදී ධම්මානන්ද හිමියන් සඳහන් කළේ “ ඔබතුමාට ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි පිටරට මිනිස්සුත් ආදරය කරනවා. ගෞරව කරනවා. අපි ඔබතුමා වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධාන කරනවා. චීනයේ පැවැත්වෙන එම උත්සවයට සහභාගී වෙන ලෙස ආරාධනා කරනවා.“ යැයි ධම්මානන්ද හිමියන් කළ ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේය. ඒ.එච්.එම් අස්වර් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද නිතර නිතර මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට යන හිතවතෙකි. ඔහු කීවේ“ අද මේ රටේ ව්‍යාපාර කඩන් වැටිලා. මුස්ලිම් ව්‍යාපාරිකයන් නන්නත්තාර වෙලා.“ කියාය. හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ද එම දේශපාලන කතාවලට අටුවා ටීකා සැපයීය. “ ලබන මාසයේ මැදවන විට මේ ආණ්ඩුව පුපුරා යනවා. ඒක නතර කරන්න බෑ. ඒ ගැන දන්නා නිසා ආණ්ඩුවේ අය ඔබතුමාට පුළුවන්තරම් හිරිහැර අවලාද කරාවි. හැබැයි ඒවාම ඒ අයට පාරා වළල්ලක් වෙනවා.“ හෙට්ටිගේ කීවේය.

රවීට එරෙහිව එජාපයේ මැති ඇමැති 5ක්

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කාර්යාලය වෙත විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නේය. එම විශ්වාසභංගයේ දී හෘද සාක්ෂියට එකගව ඡන්ද විමසිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමා පෞද්ගලිකව හමුවී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු කිහිප දෙනෙක්ම රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සඳහා සහය පළ කළ බවයි. ඒ අනුව එජාපයේ කැබිනට් ඇමැතිවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී බවත් “අපේ මිනිහා රකින්න එන්නේ නෑ“ යැයි තවත් එක් කැබිනට් ඇමැතිවරයෙකු සඳහන් කළ බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා හෙළි කළේය.

වරාය චීනෙට නොදී මුදල් හොයන ක‍්‍රමයක් හඳුන්නෙත්ති කියයි

පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාව මගින් පැවැත්වූ වැඩමුළුවක් පසුගිය පළවෙනිදා බත්තරමුල්ලේදී පැවැත්විණි. ඒ සඳහා කතානායකවරයා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවූ අතර මන්ත‍්‍රීවරුන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහිදී හර්ෂ ද සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර කතානායකවරයාගේ දේශනයේදී කෝප් කමිටුවේ කාර්යභාරය විශාල ඇගයීමකට ලක්විය. ඉන්පසුව එළඹියේ කෝප් සභාපතිවරයාගේ කතාව. එහිදී ඔහු ආණ්ඩුවට අපූරු යෝජනාවක් කළේය.
”කෝප් කමිටුව මේ වෙනකොට රැස්වීම් වාර 98ක් පවත්වලා තිබෙනවා. ආයතන 58ක් විමර්ශනයට කැඳවලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පමණක් රැස්වීම් වාර 14ක් පැවැත්වූවා. මෙතෙක් පැවැති කෝප් කමිටුවලට සාපේක්ෂව ගත්තාම මේ කාල පරිච්ඡේදය තමයි ක‍්‍රියාකාරිත්වය ඉහළම කියලා අපිට නිලධාරීන් කියනවා. දැන් ආණ්ඩුව වරාය විකුණන්න යන්නේ ඩොලර් බිලියනයක් හොයාගන්න. නමුත් අපි ඉදිරිපත් කරලා තියෙන කෝප් වාර්තාවල ඊට වඩා වංචා දූෂණ සිදුවෙලා තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුවේ විතරක් ඒ මොහොතේ පාඩුව රුපියල් බිලියන 1.6ක්. සහල් ආනයනයෙන් සිදුවූ පාඩුව කෝටි 551ක්. මේ වගේ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වලා අයකරගන්න පුළුවන් ඒවා අයකරගෙන වංචාව දූෂණය නතර කරන්න ආණ්ඩුව කටයුතු කරනවානම් අපේ රටේ දේපළ විකුණන්න ඕන වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා කෝප් කමිටුවෙන් හොරු අල්ලයි කියලා. නමුත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නේ හොරු ආරක්ෂා කරන එක.” කෝප් සභාපතිවරයා කියා සිටියේය.

හොරු රකින්නේ විජේදාසලූ අජිත් පෙරේරාගේ කටෙන් පනී

පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයක් පැවැත්විණි. එයට ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මන්ත‍්‍රීවරයාය. එජාපය නියෝජනය කරමින් අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සහ හර්ෂණ රාජකරුණා සහභාගි වූහ. මෙහිදී යහපාලන ආණ්ඩුව පත්වෙද්දී දූෂිතයින්ට දඩුවම් ලබාදෙන බවට ප‍්‍රතිපත්තිමය එකඟතාවක සිටි නමුදු මේ වනවිට දූෂිතයින් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක වීම ඉතා මන්දගාමී වීම සංවාදයට ලක්විය. මෙහිදී දූෂිතයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන බව ආණ්ඩුව පොරොන්දු වූ බව මාධ්‍යවේදීන් අජිත් පෙරේරා මන්ත‍්‍රීවරයාට මතක් කර සිටියේය. ”විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා අපි කිව්වේ නැහැ. විශේෂ ඒකකයක් හදනවා කිව්වා. මම හිතන විදියට විශේෂ අධිකරණයක් ඕනැ නැහැ. නමුත් මේ නඩු විභාග කරන්න විශේෂ ක‍්‍රම අනුගමනය කරන්න පුළුවන්. දැන් වෙන්නේ මාස ගණන් නඩු කල් යන එක. මාස 6න් 6ට නඩු වාර 5ක් ගියාම අවුරුදු 03ක් ඉවරයි. මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. මට කියන්න පුළුවන් සීමාවට මම මේ කියන්නේ. අධිකරණ ඇමතිවරයා මේවා කඩිනම් කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒක ප‍්‍රශ්නයක්. අගමැතිතුමා ඒවට අදාළ උපදෙස් දීලා තියෙන්නේ. නමුත් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. අධිකරණ ඇමති අකමැති නිසා” අජිත් පෙරේරා කියා සිටියේය. අනතුරුව මාධ්‍යවේදියෙකු වසන්ත සමරසිංහගෙන් අසා සිටියේ ජවිපෙ ආණ්ඩුවකදී නම් මොකද කරන්නේ කියාය. ”අපේ පාලනයකදී නම් විශේෂ අධිකරණ එකක් නෙවෙයි තුන හතරක් හරි දානව. ප‍්‍රශ්නය තියෙන්නේ මෙතනයි. දැන් අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමාම කියනවා විජේදාස රාජපක්ෂ අකමැති නිසා දූෂිතයින්ට දඩුවම් දෙන්න විදිහක් නැහැ කියලා. ඒත් වරාය ඇමති අකමැති වෙලා තියෙද්දී වරාය දෙන්න ආණ්ඩුවට කටයුතු කරනවා. මෙතන තියෙන්නේ ආණ්ඩුවේ වුවමනාව. විකුණන්න ඕන වුනාම කවුරු අකමැති වුනත් විකුණනවා. දූෂිතයින් රකින්න ඕන වුනාම රකිනවා. මේ දූෂිතයින් රකින්නේ සමහර දූෂිතයින් ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ ගනුදෙනුකරුවන් නිසයි.” වසන්ත සමරසිංහ කීවේය.

රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක්

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අවසන් දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුවූ කලබැගෑනියෙන් පසුව ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම රැස්ව ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුා කළේය. ”ආණ්ඩුව වරාය විකුණන ගිවිසුම සම්බන්ධ ගැසට් එක සම්මත කර ගත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් අනුව නෙවෙයි. අගමැතිවරයා ලබාදුන්න හස්ත සංඥා අනුව තමයි කතානායක කටයුතු කළේ. ආණ්ඩුව කටයුතු කරන්නේ මේ විදියට නම් ඒක කණගාටුදායක තත්වයක්” අනුර දිසානායක කියා සිටියේය. ”ජනාධිපතිතුමා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පොරොන්දු වුනා ගිවිසුම අත්සන් කරන්නේ නැහැ, සාකච්ඡුාවක් දෙනවා කියලා. නමුත් දැන් ගිවිසුම අත්සන් කරනවා වෘත්තීය සමිතිවලට බොරු පොරොන්දු දීලා.” විජිත හේරත් කීවේය. ”ජනාධිපතිවරයා දැන් ඔප්පු කළ යුතුව තිබෙනවා, තමන් මේ රටේ පාලකයද නැත්නම් රූකඩ පාලකයෙක්ද කියලා.” අනුර දිසානායක කීවේය. ආණ්ඩුව හොර ගිවිසුමක් විදියට තමයි මේක අත්සන් කරන්නේ. එහෙම කරන ගමන් රනිල් වික‍්‍රමසිංහට ප‍්‍රසංශා කරන්න පාර්ලිමේන්තුවේ දිනයක් වෙන් කරලා.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. ”අපි එදාට පාර්ලිමේන්තු වර්ජනය කරමු. රනිල් වික‍්‍රමසිංහ රටේ සම්පත් විකුණන එකටයි, අධ්‍යාපනය විකුණන එකටයි, හොරු ආරක්ෂා කරන එකටයි ප‍්‍රසංශා කරන්න වෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය.
”රවී කරුණානායකගේ ප‍්‍රශ්නෙත් බරපතළයි. මොන තර්ක දැම්මත් දැන් හොරු කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි. එජාපයේ ඇතැම් කණ්ඩායම් රවීට විරුද්ධව ගන්න පියවර මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. සමහර මන්ත‍්‍රීවරු ලොකු කලකිරීමකින් ඉන්නේ, මේ නිසා කවදාවත් ගොඩ එන්න බැහැ කියලා. අපි විශ්වාශභංග යෝජනාවක් ගේන්න ඕනෑ. ජනාධිපති, අගමැති මොනවා කළත් අපි රවී ගැන බලාගන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියේය.

උමා ඔය අවට ප‍්‍රදේශ අවදානම් කලාපයක් වෙයි

පසුගිය විසිහත්වෙනිදා පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව සඳහා උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැඳවා ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු සාකච්ඡුා කරන ලදී. එහි සභාපති විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ එම සභාවට වගකිව යුතු නිලධාරීන් කැඳවා තිබිණි. එහිදී සභාපතිවරයා විමසා සිටියේ උමා ඔය ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම මේ සඳහා තෝරාගැනීමට නිර්දේශ කළ නිලධාරීන් කවුද යන්න සහ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ වාර්තාව අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම උමා ඔය ව්‍යාපෘතිය නිසා දුෂ්කරතාවයට පත්ව ඇති ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබාදීම, වගා වන්දි, නිවාස දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡුාවට බඳුන් විය. ඊට අමතරව කාරක සභාව යෝජනා කළේ හානි විය හැකි ප‍්‍රදේශ ආපදා ප‍්‍රදේශ ලෙස නම්කොට ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසය.

නෙවිල් ප‍්‍රනාන්දුගේ රෝහලට කෝටි 20ගානේ වෙන් කළත් ඇතැම් රෝහල් වෛද්‍යවරු නැතිව වසා දමලා

පසුගිය සෙනසුරාද සහ ඉරිදා දිනයන්හිදී ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් අම්පාර දිස්ත‍්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහාගොස් සිටියේය. මේ දිනවල ජවිපෙ විසින් පවත්වනු ලබන දිරිය පුරවැසි දිසා සමුළු සඳහා සූදානම් කිරීමේ රැුස්වීම් සඳහා අම්පාර දිස්ත‍්‍රික්කයේආසන මට්ටමින් රැුස්වීම් සංවිධානය කොට තිබිණි. එහිදී මහඔය ප‍්‍රදේශයේ ගම්මානයක වෛද්‍යවරු නොමැතිව වසා දමා ඇති රෝහලක් ගැන ගම්වාසීන් මන්ත‍්‍රීවරයාට කියා සිටියේය. ”ආණ්ඩුව පුද්ගලික රෝහල් පවරාගෙන කෝටි 20ගානේ මුදල් වෙන් කරනවා. දුප්පත් අම්මා තාත්තට බෙහෙත් ටිකක් ගන්න තියෙන රෝහල් වෛද්‍යවරු නැහැ කියලා වහලා දානවා. ආණ්ඩුව පෙනී ඉන්නේ මුදලාලිලා වෙනුවෙන් කියලා ඔප්පු කරන්න තවත් උදාහරණ ඕන වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවේ වෛද්‍ය පීඨ හදලා රටට ඕන වෛද්‍යවරු බිහිකරන්න කියලා. ලක්ෂ 120ක් දීලා ඉගෙන ගන්න දොස්තරලා මේ වගේ ගම්වලට ඇවිත් පොඩි මිනිහට බෙහෙත් දෙන්නේ නැහැ. ඒ ලක්ෂ 120 හොයන්න තමයි වැඩ පටන් ගන්නේ.” විජිත හේරත් කීවේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 August 2017 15:07