March 28, 2024

රවී අස්කරන්නැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් ජනපතිට, අගමැතිට බලපෑම්

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවී ඇති බරපතළ කරුණු අවධානයට ගෙන තීන්දුවක් ගතයුතු බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් පිරිසක් පසුගිය 27 වැනිදා ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම කළ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ඒකාබද්ධ විපක්ෂයේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු එදින ජනාධිපතිවරයා හමුවේ ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය, ජනතාව ආණ්ඩුවට කරන විවේචන හා රටේ ආර්ථිකය ගැනත් කරුණු දක්වද්දී, එජාපයේ ඇමැතිවරුන් පිරිසක් තමා හමුවී රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ බව ප්‍රකාශ කොට තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් විශ්වාසභංග යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව වාර්තා වේ. ලබන අගෝස්තු 02 වැනිදා බැඳුම්කර කොමිසම හමුවට පැමිණීමට නියමිත රවි කරුණානායක මහතා එහිදී කරන ප්‍රකාශයෙන් මතුවිය හැකි කරුණු තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පියවර කීපයක් ගැනීමට සූදානම් බවද එම ආරංචි මාර්ග පැවසී ය.

මේ අතර ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත.

ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය. කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(7 votes)
Last modified on Monday, 31 July 2017 13:58