April 19, 2024

කරළියෙන් එහා: ඒකාබද්ධයේ මත ගැටුමක් - ගෝඨාගේ ගිවිසුමට මෛත‍්‍රීත් එකඟ වෙයි

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 18ක් ඉවත් වීමේ කතාබහත්, උතුරුමැද පළාත් සභාවේ සිදුවූ ගැටුමත්, සයිටම් ප්‍රශ්නයත් නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමැතිවරයා අතර පවතින මත ගැටුම තවදුරටත් දුරදිග යන තත්ත්වයක් මතුව ඇත. නව වෛද්‍ය සංගමයක් බිහිවීමේ කතාව පැතිරීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කලබලයට පත් වූ අතර ඒ පිළිබඳව අගමැතිවරයාටද පැමිණිලි කළේය.

අතුරුදන් පනතට ජනපති අත්සන් තබයි

මේ අතර විපක්ෂයෙන් චෝදනාවට ලක් වූ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහාවන කාර්යාලය බල ගැන්වීමේ ඊලග පියවර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමි වූ බවයි. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය. “පනතේ සංශෝධන කිහිපයක්‌ සිදු කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කර ගෙන යැම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබූවිට මෙය ස්‌වාධීන කාර්යාලයක්‌. 71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් මෙම පනත මගින් සොයා බැලෙනවා. සීමිත කාලයක්‌ ගැන විතරක්‌ බලන්නේ නැහැ. සියලු කැරලි ආදී ගැනත් සොයා බලනවා.“
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලයට සාමාජිකයන් බඳවා ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය හරහා ඉදිරියේදී සිදු කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජගත් සංවිධාන විශේෂ නියෝජිත බෙන් එමර්සන් දෙමළ රැඳවියන් නිරීක්ෂණයට වැලිකඩ බන්ධනාගාරයට ගියේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයේදී ජනතිපතිවරයා ප්‍රශ්න කළේය.

විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ක්‍රියාකල ආකාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් දක්වමින් කතා කළේය. එහිදී රවී කරුණානායක මහතා සඳහන් කළේ “විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරයාට තදින් අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඒක හොද මදියි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.“ යැයි රවී කරුණානායක මහතා කී විට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතාද එය අනුමත කළේය.

“අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව කටයුතු කළ යුතු වනවා. හිටපු ආණ්ඩුව වගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව හෝ රාජ්‍ය තාන්ත්‍රික නොවන අයුරින් හෝ අපට වැඩ කරන්න බැහැ. අපි අමාරුවෙන් විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත්තා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ඉතාම අදූරදර්ශීවයි. අපිට එහෙම කරන්න බැහැ.“ යැයි මංගල සමරවීර මහතා ඉතා දීර්ඝ විස්තරයක් කැබිනට් මණ්ඩලය හමුවේ තැබුවේය.
ඉන්පසුව විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ සහායට චම්පික රණවක, නවීන් දිසානායක, නිමල් සිරිපාලද සිල්වා යන ඇමැතිවරුන් ඉදිරිපත් වූහ.
ඔවුන් කීවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ගේ ඇතැම් වාර්තා සාවද්‍ය හා රටට අපකීර්තියක් ගෙන දෙන ඒවා බවයි. ආණ්ඩුව ඒ සඳහා මුහුණ දිය යුතු බවද එම ඇමැතිවරු කීය.

ඒකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුමක්

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුමක් හා අර්බුදයක් හටගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් විය යුතු බවයි. එහෙත් තවත් පිරිසක් ඊට සම්බන්ධ වී සිටීම වැදගත් යැයි අවධාරණය කර තිබේ. ඒ අනුව නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුල මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත් වන බවට කතානායකවරයාට ලිපියකින් දැනුම් දී තිබිණි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතාට මේ බව ලිඛිතව දැනුම් දුන්නේය. ඒ අනුව එම පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී ඇත. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරියටත් රැඳී සිටින බවට තීරණය කර තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා ඉල්ලා අස්වීමෙන් පෙනී යන්නේ සිය මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මන්ත්‍රීවරුන් 225ක් සිටින සමස්ථ පාර්ලිමේන්තුවම නියෝජනය කරන සභාවක් බවත් එම මන්ත්‍රීවරුන් 225දෙනා නිල බලයෙන් සාමාජිකයින් වීම නිසා ඉල්ලා අස්වීම කියා දෙයක් නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එලෙස ඉල්ලා අස්වන්නේ නම් අස්විය යුත්තේ මන්ත්‍රී ධූරයෙන් බවත් ඒ අනුව පෙනී යන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ගෝලයින් සිව් දෙනා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් නැතහොත් නොදන්නාකමට නොතේරුම්කමට කළ වරදක් ලෙස එය සිතිය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. නමුත් නීතිය දැන හෝ නොදැන මෙවැනි විහිලු සැපයීම නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ජනතාව ඉතා සතුටින් ප්‍රතිචාර දක්වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

අලූත් බදු පනත අයිඑම්එෆ් එකට අනුවයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 17වෙනිදා බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳවද නව බදු පනත, ආරක්ෂක ගිවිසුම සහ පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු විය. ”ආණ්ඩුව අලූතෙන් බදු පනතක් ගේන්න සැලසුම් කරලා තියෙන්නේ. මේකේ ඇත්ත කතාව දැන් තියෙන රාජ්‍ය බදු ප‍්‍රතිපත්තිය වෙනුවට අයිඑම්එෆ් එකේ මගපෙන්වීමට හදපු එකක් වීමයි.” අනුර දිසානායක කියා සිටියේය. ”දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරන බදු එකතුකිරීමේ ක‍්‍රියාවලිය පෞද්ගලික සමාගමකට දෙන්න හදනවා. ඒක දෙන්නෙත් ඇමරිකානු මැකෙන්සි සමාගමට. ඒ නිසයි මේක අයිඑම්එෆ් එකට ඕන විදියට හැදුවා කියන එකේ සැකයක් නැත්තේ.” විජිත හේරත් කීවේය. ”ඒ විතරක් නෙවෙයි, හැම පුද්ගලයටම බදු ෆයිල් එකක් ඕපන් කරන්නයි ආණ්ඩුවේ සැලැස්ම. ආණ්ඩුවේ ආර්ථික අර්බුදය වහගන්න කරන වැඩ තමයි මේ” බිමල් රත්නායක කීවේය. ”දැන් මේ කි‍්‍රයාත්මක වෙන්නේ එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්ති. මෛත‍්‍රී ජනාධිපති වුණාට රනිල්ගේ ප‍්‍රතිපත්ති තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. චන්ද්‍රිකා ජනාධිපති වෙලා රනිල් අගමැති වෙලා හිටපු කලේ වගේම තමයි දැන්. විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ගෙනාවේ ජේ.ආර්. දැන් ඒකට අවුරුදු 40යි. එක සමරන්න රනිල් වික‍්‍රමසිංහලා වැඩසටහනක් කරන්න යනවා. මහරගම යූත් එක බුක් කරලා දවස් තුනක ප්‍රෝග‍්‍රෑම් එකක්. හැම අමාත්‍යංශයකටම චක‍්‍රලේඛයක් යවලා විශේෂ අංගයක් ඉදිරිපත් කරන්න කියලා. ජේ.ආර්.ගේ ප‍්‍රතිපත්ති ආණ්ඩුවේ වියදමින් සමරනවා. මේක මහ විහිළුවක්. අමාත්‍යංශවලට යවපු චක‍්‍රලේඛයක් මටත් ලැබුණා.” විජිත හේරත් කියා සිටියේය.

මැතිවරණය මේ වසරේ අග? පනතට කඩිනමින් සංශෝධන

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවකට අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලූම පක්ෂවලට ආරාධනා කොට තිබිණි. මේ සඳහා ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ පක්ෂ නායක අනුර දිසානායකය. ඔහු සාකච්ඡාවේ කරුණු දේශපාලන මණ්ඩල සභිකයින් වෙත ඉදිරිපත් කළේය. ”පළාත් පාලන මැතිවරණය මේ වසරේ අග පවත්වන්න තමයි ආණ්ඩුවේ කල්පනාව. පළාත් පාලන මැතිවරණයත් පාර්ලිමේන්තු ක‍්‍රමයට පවත්වන්න තමයි සූදානම. ඒ කියන්නේ කොට්ඨාස ක‍්‍රමයයි සමානුපාතික ක‍්‍රමයි සහිත මැතිවරණ ක‍්‍රමයක්. අපි යෝජනා කළේ ගෙනාපු පනතේ තියෙන ඇතැම් කරුණු සංශෝධනය කරන්න ඕනෑ කියලා. ඒ අනුව කොට්ඨාශ ක‍්‍රමයට 60%ක් සහ සමානුපාතික ක‍්‍රමයට 40%ක් මන්ත‍්‍රීවරුන් පත්කිරීමට පක්ෂ එකඟතාවය පළකරලා තියෙනවා. තවත් සංශෝධන කිහිපයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න තමයි ආණ්ඩුව හදන්නේ” අනුර දිසානායක පැහැදිලි කළේය. ”මේ අවුරුද්ද අග මැතිවරණය තිබ්බොත් බජට් එකට මොකද වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණයට මොකද වෙන්නේ. කල්දාන්න තමයි වෙන්නේ.” ලාල්කාන්ත විමසා සිටියේය. ”එතන ප‍්‍රශ්නයක් තියෙනවා තමයි. ගොඩක්දුරට ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දාන්න පුළුවන්. උතුරුමැද පළාත් සභාවේ සභාපති මාරුකරන්නත් සැලසුමක් තියෙනවා කියලා ආරංචියි. මොකද එතන ඉන්නේ මහින්ද රාජපක්ෂලාගේ කෙනෙක්” බිමල් රත්නායක කියා සිටියේය.

ගෝඨාගේ ගිවිසුමට මෛත‍්‍රීත් එකඟ වෙයි

පසුගිය 2007 වසරේදී ගෝඨාභය රාජපක්ෂ සහ එවකට ඇමරිකානු තානාපතිවරයා විසින් අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේදී කල් ඉකුත්වීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කර තිබූ අතර මේ පිළිබඳවද ජවිපෙ නායකයෝ අවධානය යොමු කළහ. ”මේක අපේ රට පාවාදුන්න ගිවිසුමක්. ඇමරිකාවට යුද කි‍්‍රයාවලියකට අවශ්‍ය පහසුකම් සපයන්න අපි එකඟ වෙලා තියෙනවා මේ ගිවිසුමෙන්. මහලොකු දේශපේ‍්‍රමයක් පෙන්වන රාජපක්ෂලා මේක අත්සන් කළා. නමුත් දැන් වසර 10 ඉක්ම යනකොට මේ ආණ්ඩුවත් කැබිනට් තීරණයක් ගන්නවා මේ ගිවිසුම අලූත් කරන්න.” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”පුදුම වැඬේ කියන්නේ ගෝඨාභයලා අත්සන් කරපු රටට අහිතකර ගිවිසුම අලූත් කරන්න මෛත‍්‍රීපාල සිරිසේනත් එකඟ වෙන එකයි.” විජිත හේරත් කියා සිටියේය. ”ඒ විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ ගිවිසුම අලූත් කිරීම ගැන කිසිම කතාවක් නෑ. එහෙම දෙයක් ගැන නොදන්නවා වගේ ඉන්නවා. මහලොකුවට දේශපේ‍්‍රමය ගැන කයිවාරු ගහන විමල් වීරවංශලා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ.” බිමල් රත්නායක කීවේය. ”ඒ කට්ටිය කොහොමද මේක ගැන කතා කරන්නේ. එයාලගේ ආණ්ඩුවමනේ මේ ගිවිසුම අත්සන් කළේ. රට පාවා දෙනවා කියලා බොරුවට කෑ ගහනවා. ඇත්තටම රට පාවාදීපු ගිවිසුම් ගහන්න අත උස්සලා.” විජිත හේරත් කියා සිටියේය. ”අපි මේක ගැන රටේ ජනතාව දැනුවත් කරන්න ඕනෑ. අනෙක් ප‍්‍රශ්න අස්සේ මේ වගේ රටට අහිතකර ගිවිසුම් ටිකත් ආණ්ඩුව අත්සන් කරලා දානවා” ටිල්වින් සිල්වා කියා සිටියේය.

ගම්මිරිස් මිල බැස්සේ ඇමතිගේ කූඨ බිස්නස් එක නිසයි

ගම්මිරිස් මිල පහළ බැසීමත් සමඟ විවිධ ප‍්‍රදේශවල ගම්මිරිස් ගොවීහු මහමඟට බැස උද්ඝෝෂණ කිරීමට පටන්ගත්තෝය. මේ අතර ඇතැම් ප‍්‍රදේශවල ජනතාව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ නාමල් කරුණාරත්නට දුරකතන ඇමතුම් ලබාදී මේ ගැටලූව විසඳාගැනීමට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව නාමල් කරුණාරත්න ගම්මිරිස් ගොවියන් හමුවී මේ පිළිබඳව සාකච්ඡුා කිරීමට පියවර ගත්තේය. ඉන්පසුව මේ පිළිබඳව සාකච්ඡුාවක් ලබාදෙන ගොවිජන සම්මේලනය විෂය භාර ඇමති දයා ගමගේගෙන් ඉල්ලීම් කළේය. ඒ අනුව 17වෙනිදා පස්වරුවේ සාකච්ඡුාවක් ලැබිණි. ”ගම්මිරිස් ගොවියන්ගේ ප‍්‍රශ්නය ගොඩක් බරපතළයි ඇමතිතුමා. මේ විදියට ගම්මිරිස් මිල පහත වැටුණාම ගොවියට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. ආණ්ඩුවට බරක් නොවී ජීවිතය ගැටගහගන්න ගොවියන්ටත් ආණ්ඩුව සලකන්නේ මේ විදියට නම් කණගාටුයි.” නාමල් කරුණාරත්න කියා සිටියේය. ”ලෝක වෙළඳපොළේ මිල පහත වැටුණාම මේ වගේ දේවල් වෙනවා. ඒකට ආණ්ඩුව මොකද කරන්නේ?” ඇමතිවරයා ගැලවිජ්ජාවෙන් පිළිතුරු දුන්නේය. ”අපට ආරංචි විදියට ගම්මිරිස් ආනයනය කරන නිසා තමයි මේ විදියට මිල බැහැලා තියෙන්නේ” නාමල් කරුණාරත්න කියා සිටියේය. ”පුළුවන්නම් වෙළඳපොළේ ආනයනය කරපු ගම්මිරිස් මට පෙන්වන්න. කොහොම නමුත් ගම්මිරිස්වල රු.700 සිට රු.900 අතර මිලක් දෙන්න කටයුතු කරන්නම්. ඊට අමතරව මිලදී ගැනීමේ මධ්‍යස්ථාන දාන්නම්.” ඇමතිවරයා කියා සිටියේය. ”නෑ ඇමතිතුමා. අඩුම තරමේ රු.1000ක්වත් ඕනෑ” නාමල් කරුණාරත්න තර්ක කළේය. සාකච්ඡාව අවසාන වී පැමිණෙමින් සිටි නාමල් කරුණාරත්නට ලාල්කාන්ත දුරකතන ඇමතුමක් ලබාදී සාකච්ඡාවේ විස්තර විමසා සිටියේය. ”ආණ්ඩුවේ ඇමතිවරයෙක් ගම්මිරිස් ආනයනය කරලා ප‍්‍රතිඅපනයනය කරනවා. ඒ නිසයි මේ මිල බැහැලා තියෙන්නේ. ලෝක වෙළඳපොළේ මිල බැහැලා නම් ඇමතිවරයා කරන්න ඕනෑ ගොවියන්ගෙන් සාධාරණ මිලකට ගම්මිරිස් අරගෙන ගබඩා කරලා මිල වැඩිවෙන කාලෙට අපනයනය කරන එක. අපෙන් අහලා හරියන්නේ නෑ මිල අඩු වුණාම මම මොකද කරන්නේ කියලා. ඇමතිවරු බිස්නස් කරනවා, ඇමතිකම කරන්නේ නැතුව ඒකයි ඇත්ත ප‍්‍රශ්නේ.” සාකච්ඡාව පිළිබඳව කරුණු විමසීමෙන් අනතුරුව ලාල්කාන්ත කියා සිටියේය.

Rate this item
(2 votes)