March 29, 2024

ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවෙන් යයි - යහපාලන ආණ්ඩුවේ ආයු කාලය අවසන්?

වත්මන් යහපාලන රජය වසර 2020 දක්වා රාජ්‍ය පාලනය සිදු කරන බවත්, ඉන් පසු ද යළි බලය ලබා ගනිමින් වසර 2025 දක්වා ද රාජ්‍ය පාලනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යහපාලන රජයේ ගිවිසුම වසර 2020 දක්වා ක්‍රීයාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාරක සභාව ද පසුගියදා තීරණය කළ බව ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් 17 ක් ඉවත් වන බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එය ඉදිරියේ දී විසදෙන ප්‍රශ්ණයක් බවයි.

2015 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු ආසන 106ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 95ක්ද දිනා ගත්හ. පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රීලනිපය සහ එජාපය වසර දෙකක් සඳහා එක්ව කටයුතු කිරීමේ එකඟතාවයකටද එක් විය.

එහෙත් සන්ධාන මන්ත්‍රී පිරිසක් ඊට විරෝධය පා විපක්ෂයේ කටයුතු කිරීම නිසා ජාතික ආණ්ඩුවේ කටයුතු කළේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 44දෙනෙකු පමණයි. පසුව පියංකර ජයරත්න මන්ත්‍රීවරයාද ඇමැති ධූරය හැරදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ අතර පසුව ආණ්ඩුවේ කටයුතු කළේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 43දෙනෙකි.

කෙසේ වෙතත් මේ වන විට ජාතික ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 15දෙනෙකු විපක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බව වාර්තා පලවිය.

මේ වසරේ මහින්දගේ ආණ්ඩුවක්

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ මේ වසර අවසාන වීමට ප්‍රථම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් හදන බවයි.

මේ අතර ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමින් සාකච්ඡා පැවැත්වූ බව නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසී ය.

වසර අවසාන වන විටදී ශ්‍රීලනිප මැති ඇමැතිවරු 15කට ආසන්න පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන ලෙස කටයුතු කිරීමට සාකච්ඡා පැවැත්වූ බවත් එජාපයේ මැති ඇමැතිවරුන් සිදුකරන දේවල් හේතුවෙන් ආණ්ඩුවේ රැඳී සිටීමේ හැකියාවක් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත දෙසැම්බර් 31 වන තුරු කිසිදු තීන්දුවක් ගැනීමට සූදානම් නොමැති බව ද මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

මහින්ද - මෛත්‍රී එක් කිරීමට කපුකමක්

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසූවේ පක්ෂය බෙදී වෙන් වුවහොත් පක්ෂයේ ජයග්‍රහණයක් නොමැති බවත් පක්ෂය සමගි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය යුතු බවත්ය.

කෙසේ වෙතත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පෙන්වා දුන්නේ එම මන්ත්‍රීවරුන් 18 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවද තවත් 40ක පිරිසක් ඇමැති ධූර ගෙන සිටින බවත් යහපාලන ආණ්ඩුව 2020 වනතෙක් කටයුතු කරන බවත්ය.

ශ්‍රීලනිපය සහ එජාපය අතර දෙසැම්බර් 31වනදා තෙක් වලංගු ගිවිසුමක් පවතින බවත් එම ගිවිසුම අනුව කටයුතු කරන බවත් කලබල නොවී දෙසැම්බර් 31 වනදා තෙක් බලාසිටින ලෙස ජනාධිපතිවරයාද ප්‍රකාශ කළ බවත් අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසී ය.

නමුත් එජනස මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත් වන බවට නම් සඳහන් කළ මැති ඇමැතිවරු 11දෙනෙකු තමාට කතා කළ බවත් ඔවුන් එවැනි තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කළ බවත්ය.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 18 July 2017 13:38