April 23, 2024

ගමෙන් පැමිණි ජනපතිවරු දෙදෙනෙකුගේ හමුවීම

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ ඩකා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

බංග්ලාදේශ ජනාධිපති මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහෙන් අනතුරුව නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.

තමා ද ගමෙන් පැමිණි ජනාධිපතිවරයෙකු වන අතර, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණි ජනාධිපතිවරයෙකු ලෙස අද ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටුකරන නිහතමානී මෙහෙවර තමා බෙහෙවින් අගය කරන බව බංග්ලාදේශ ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු කරා ගමන් කරන රටවල් දෙකක් ලෙස දෙරටේ සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට ඉඩ ප‍්‍රස්ථාව තිබෙන බව සඳහන් කළ බංග්ලාදේශ ජනාධිපතිවරයා තවත් දීර්ඝ කාලයක් ඉදිරියට පවත්වාගෙන යා හැකි අන්දමින් දෙරටේ සබඳතා ශක්තිමත් කරගත යුතු බව ද කියා සිටියේය.

ඒ සඳහා නිරන්තරයෙන් හමු වී සංවාදයේ යෙදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බංග්ලාදේශයට පැමිණි අවස්ථාවේ සිට එරට රජයත්, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරිය ඇතුළු සියලුදෙනා ලබාදුන් සුහදශීලි පිළිගැනීම සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් සිය කෘතවේදිත්වය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ සංස්කෘතික ප‍්‍රසංගයක් අද රාති‍්‍රයේ බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් පිරිනමන විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)