April 24, 2024

පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට - දූෂිතයින් රකින ආණ්ඩුවේ මැති ඇමතීන්ට වැඩ වරදි?

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දූෂණ වංචා කිසිවක් නිවැරදිව ඔප්පු කිරීමට හෝ දූෂිතයින්ට දඩුවම් ලබා දීමට නොහැකි වූයේද ආණ්ඩුවේ ඇතැම් පිරිස් රාජපක්ෂවරුන් සමග සම්බන්ධතා පවත්වන බැවින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(04) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දැඩිලෙස ප්‍රකාශ කර තිබේ.

පසුගිය රජය සමයේ මහාපරිමාණ වංචාවල නියැලී සිටි බව කියන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ගේ සමීපතම හිතවතුන්ට අදාළ චෝදනා විමර්ශණය කිරීම සහ නඩු පැවරීමේ ක්‍රියාදාමය ඉතා මන්දගාමී බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එම පරීක්ෂණ වලට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින්ගෙන් බාධා සිදුවන බවත් එනිසා සුපිරි හොරුන් අල්ලා දඩුවම් දීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව මාස තුනක් තමන් යටතට ගැනීමට තීරණය කල බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙන බව වාර්තාවෙයි.

තමන් යටතේ මාස තුනක් ඇතුලත මෙම විමර්ශණ සහ නඩු විමසීම් අවසන් කර දූෂිතයින්ට එරෙහිව දඩුවම් ලබා දිය හැකි බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත.

දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් සිදු වූයේ නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් දඩයම් කිරීමක් පමණක් බැවින්, එය තවදුරටත් පවත්වාගෙන යාමේ ඵලක් නොමැති බවද ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ගෙන්වා තමා සිදුකළ සාකච්ඡාවේදී එම නිලධාරීන්ට රජයේ පාර්ශ්වයෙන්ම බලපෑම් එල්ලවන බවට පැවසූ බවද ප්‍රබල දූෂණ චෝදනා ඇති පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඇත.

දූෂණ විමර්ශන ආයතනවලට මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයටද දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ලවී ඇති බවට තමාට වාර්තාවී ඇතැයිද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුවක් නැවත පැමිණිය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට ප්‍රශ්නයක් නොමැති බවද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ ජීවිතයට පරදුවට තබා බවත්, පරාජයට පත්වූයේ නම් පුතා හා බෑණා සිරකර දමා තමාද මරා දැමීමට ඉඩ තිබූ බව ඒ මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.

එජාපයේද සහය ලැබීම තමාට ජනාධිපතිවරණය ජය ගැනීමට රැකුලක් වූ බවද සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ කෙසේවෙතත් දූෂිතයන් නීතිය හමුවට නොපැමිණවීම තමාගේ ජීවිතයට ද තර්ජනයක් බවද අවධාරණය කර තිබේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 06 July 2017 12:55