April 23, 2024

යහපාලන ආණ්ඩුවට සහය දෙන්න දෙමල සන්ධානයෙන් යළි පොරොන්දුවක්

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේවන විට සකස් කර ඇති අතුරු වාර්තා කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කොට පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් ගැටලුවලට විසඳුම් ලබා ගත යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.

 මේ බව කියා සිටියේ යාපනය පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

“දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතික ගැටලුව විසඳා ගැනීමයි.එය ඉටු කරගැනීමට නම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි දැන් පවතින ප්‍රධාන පක්ෂ දෙක (ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය) එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවගෙන තියෙන්නේ.ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.අපේ ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට නව ආණ්ඩුවක් බිහිකරලා එය පරාජය කිරීමට කටයුතු කිරීම මෝඩකමක්.ඒ අනුව තමයි අපි මේ රජයට සහය පල කරල තියෙන්නේ.මේ රජය ඉදිරියට ගෙන යන්න ඕන එලෙස ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙන්නෙ” යැයි එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

“ජනතාවට පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නෙ නම් අපි මේ රජයට සහය පල කරන්නේ නැහැ.නමුත් එවැනි තත්වයක් තවමත් ඇති වෙලා නැහැ.ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියනවා.එකක් තමයි පලාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකල යුතුයි.අනිත් එක තමයි ලබා දුන් බලය පලාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබා ගත නොහැකි වීමයි යන කාරණායි.මේ දෙකම තියවානම් එය ෆෙඩරල් අතුරු වාර්ථාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියනවානම් එය ප්‍රමාණවත්” ලෙස එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

“මේ රජය දෙමළ ජනතාවට මොකුත් කලේ නැහැ කියලා අපි කියන්නේ නැහැ.සමහර අය කියනවා අපේ පක්ෂය දෙමළ ජනතාව අමතක කරලා රජයත් එක්ක සහයෙන් කටයුතු කරනවා කියලා.ඒක එහෙම නෙමෙයි මේ වෙන කොට වත්මන් රජය යුද්දෙ නිසා අහිමි වුනු අයගේ ඉඩම් රැසක් මුල් අයිතිකරුවන්ට ලබා දීලා තියනවා.ඒ වගේම අත්අඩංගුවට පත් බොහෝ පිරිසක් නිදහස් කිරීමටත් කටයුතු කරලා තියනවා.හැමදේම එක පාරම කරන්න බැහැ.අපි රජයත් සමඟ සහයෙන් හිටියොත් තමයි අපිට අපේ ඉලක්ක සපුරගන්න පුළුවන් වෙන්නේ”යනුවෙන් ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 July 2017 11:29