April 20, 2024

දෙමළ සන්ධානය දෙකඩ වෙන ලකුණු

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ කිහිපයක් එම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසූවේ උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි පක්ෂ ත්‍රිත්වයම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව පාර්ලිමේන්තුවේත් පළාත් සභාවත් නියෝජනය කරන එම පක්ෂ නියෝජිතයින් ද වෙනම කටයුතු කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයම රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂ ත්‍රිත්වය සිටින මෙම ස්ථාවරය පිළිබද සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාටත් තමිල් අරසු කච්චි පක්ෂයටත් පැහැදිලිව දැනුම් දුන් බව ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසී ය.

දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අනුව මහ ඇමතිවරයා විසින් පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගත් තීරණය සාධාරණ බවත් මෙය හේතුකොට ගනිමින් තමිල් අරසු කච්චි පක්ෂය මූලිකත්වය ගනිමින් මහ ඇමතිවරයා ඉවත් කිරීම සදහා විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් එම ක්‍රියාකලාපය සන්ධානයේ සෙසු පක්ෂ ත්‍රිත්වයම හෙලා දකින බවත් ඔහු සඳහන් කළේය.

තවද මහ ඇමතිවරයාව විශ්වාසභංගයකින් ඉවත් කිරීමට කටුයුතු කරන්නේ නම් උතුරු නැගෙනහිර පළාත් සභාවල හා පාර්ලිමේන්තුවේත් තම පක්ෂවල නියෝජිතයින් වෙන්ව කටයුතු කරනු ඇති බවත් මෙතුළින් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීම හැර අන් ප්‍රතිඵලයක් නොවන බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වා දී තිබේ.

මහ ඇමැති නිවසේ සාකච්ඡාවක්

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නිල නිවසේදී පසුගිය 17 වනදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමඟ සාකච්ජාවක් පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලො සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් හමුවීමෙන් පසු ටෙලො සංවිධානයේ නායකයා මාධ්‍යට අදහස් දැක්විය.

උතුරු මහ ඇමතිවරයාට විරුද්ධව භාර දී ඇති දිවුරුම් ප්‍රකාශය ඉවත් කර ගත යුතු බව හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක් වුවත් මේ ක්‍රියාවන් ගැනීමට පෙර මොවුන් සමඟ සාකච්ජා නොකළ බවත් කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් හා චාල්ස් නිර්මලනාදන් උතුරු මහ ඇමතිවරයා හමු වීමෙන් පසු මාධ්‍යට කියා සිටියේ දැනට ඇති වී තිබෙන ගැටළු සහගත තත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හමු වී සාකච්ජා කොට පසුව නැවත උතුරු මහ ඇමතිවරයා හමුවීමට පියවර ගන්නා බවයි.

උතුරු මහ ඇමතිවරයා කියා සිටියේ ජනතාව කැළඹී සිටින වාතාවරණයක් උදා වී ඇති බවයි.

මේ නිසා ආගමික නායකයින් තමා දැනුවත් කර ඇති බවත් ගැටළුව විසදීමට නම් දිවුරුම් ප්‍රකාශය ඉවත් කර ගැනීමට සිදු වන බවත් මහ ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 June 2017 11:27