April 17, 2024

කොළඹ කුණු කුණුවෙයි: කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු මහ ඇමැතිට දෙහි කපයි

කොළඹ හා තදාසන්න නගරවල කුණු කසල ඉවත් කිරීමේ කටයුතු විධිමත්ව සිදු නොවන බව ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඊයේ(13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් බස්නාහිර පළාත් සභාවට සහ එම ප්‍රධාන ඇමැතිවරයාට ද චෝදනා එල්ල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ෆයිසර් මුස්තාපා, සරත් ෆොන්සේකා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැඩිව අදහස් පළ කර ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති හෙයින් කුණු කසල ප්‍රශ්නය සොයා බැලීමේ වගකීම පළාත් සභාවට තිබෙන බවද ඔවුන් එහිදී සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

කුණු දාන අය අල්ලන්න මෙහෙයුමක්

මේ අතර කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ප්‍රකාශ කරන්නේ කොළඹ නගර බල සීමාව තුල හෙට (15) රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන කරන බවයි.

ඒ අනුව පරිසරය අපවිත්‍ර කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහා නගර සභාව, යුද හමුදාව සහ පොලිසිය සමඟ ඒකාබද්ධ වී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.

කොළඹ නගර සීමාව තුළ ඇති මාර්ග වලට කැලි කසල ගෙනත් දැමූ කිහිප දෙනෙකු ඊයේ (13) රාත්‍රියේ ද අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට කොළඹ නගරය තුල දිනකට කසළ මෙට්‍රික් ටොන් 800ක් පමණ බැහැර කරන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 June 2017 23:54