March 29, 2024

රවීගේ ඇමැතිකමේ වැඩි කොටසක් වසන්ත යටතට

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහා විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත.

අමාත්‍ය රවි කරුණානායක මහතා ගෙන තිබෙන තීරණයට අනුව තමන් උනන්දුව දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් ගැන වහාම දැනුම් දෙන්නැයි ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දැනුම් දී තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට පැවරෙන විෂයයන් අතර අන්තර්ජාතික හා ජාතික මට්ටමේ කාර්යභාරයන් රැසක්ද තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව හැකි සෑම අවස්ථාවකදීම තමන් සහභාගී වන මාධ්‍ය, පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වී ඒ අංශයෙන් අවශ්‍ය කරන දේශපාලන පන්නරය හා පුහුණුව ලබන ලෙසද රවි කරුණානායක මහතා සිය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට මේ වන තෙක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ නොතිබුණු විෂයන් සහ ආයතන රැසක් බාරදීමට නියමිත බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ සියලුම ආයතන එලෙසම නව අමාත්‍යවරයා යටතේ ගැසට් කිරීමට නියමිත අතර මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලද විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා විය.

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි කේෂ්ත්‍රයේ ආයතනද අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට පත් කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා සුරැකුම්පත් හා විනිමය කොමිසම ද විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇතැයි වාර්තා වේ.

“බලෙන් ගන්න බෑ“

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා පැවසූයේ තමාට මුදල් අමාත්‍යාංශයේ ආයතන බලහත්කාරයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත නොහැකි බවත් ගැසට් පත්‍රය නිකුත් වූ පසුව ඒ පිළිබද බලාගත හැකි බවත්ය.

එයර්පෝට් ඒවියේෂන් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තිබෙන බවත් ඒවා කිසි සම්බන්ධතාවක් නොමැති බවත් අදාල විෂය අනුව කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 June 2017 14:36