April 24, 2024

රවී විදේශ ඇමැතිකම බාරගත්තේ කොන්දේසි මතයි? මුදල් අමාත්‍යාංශයේ කොටසක් රවීට

විදේශ කටයුතු නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට මේ වන තෙක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ නොතිබුණු විෂයන් සහ ආයතන රැසක් බාරදීමට නියමිතය.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ සියලුම ආයතන එලෙසම නව අමාත්‍යවරයා යටතේ ගැසට් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලද විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි කේෂ්ත්‍රයේ ආයතනද අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට පත් කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා සුරැකුම්පත් හා විනිමය කොමිසම ද විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

කෙසේ වෙතත් මුදල් ඇමති ධුරය අතහැර විදේශ ඇමති ධුරය බාර ගැනීමට රවි කරුණානායක මහතා එකග වී ඇත්තේ කොන්දේසි කිහිපයක් මත බව වාර්තා වෙයි.

එම කොන්දේසිවලට අදාලව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක්ද විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ගැසට් කිරීමට නියමිතය.

මේ අතර නව කැබිනට්‌ සංශෝධනයට අදාළ විෂය පථයන් ඉදිරි දින පහ ඇතුළත ගැසට්‌ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව නව අමාත්‍යාංශවල විෂයන් රැසක්‌ වෙනස්‌ වන අතර, දැනට සිටින කැබිනට්‌ ඇමැතිවරුන් සතු ආයතන කිහිපයක්‌ද නව ඇමැතිවරුන් යටතට පැවරීමට නියමිතය.

පසුගිය කාලසීමාව තුළ ගැටළු පැවති අමාත්‍යාංශවල විෂය පථයන් ද මේ අනුව වෙනස් වීමට නියමිතය. මුදල්, විදේශ කටයුතු වරාය සහ ජනමාධ්‍ය ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුකරමින් සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය ඊයේ(22) සිදුකෙරිණි.

ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ 9ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරුන් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 24 May 2017 13:24