April 25, 2024

ආණ්ඩුව දෙදරයි: ඇමැති මාරුවට දින 3යි

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර ඇතැයි වාර්තා වේ.

හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින ආරංචි මාර්ග සදහන් කළේය.

මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන්ත්‍රණයකට අනුව කැබිනට්‌ සංශෝධනය සිදුකරන බවත් එය එසේ සිදුවුවහොත් අනවශ්‍ය දේශපාලන අර්බුදයක්‌ ඇතිවන බවත් ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා පෙන්වා දී ඇති අතර කැබිනට්‌ සංශෝධන අවශ්‍යම නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමිව ඇති ඇමැතිධුරවල වෙනස්‌කම් සිදුකරගත හැකි බවත් එ.ජා.ප.යට හිමිව ඇති ඇමැති ධුරවල වෙනස්‌කම් සිදුකර අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය නොකළ යුතු බවත් කියා සිටියේය.

ඇමැති තනතුරු වෙනස්‌ වනු ඇතැයි පැවැසෙන ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ ප්‍රකාශ කර ඇත්තේ තම ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති බවත් සිය විරෝධය නොතකා එවැන්නක්‌ සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගැනීමට සිදුවන බවත්ය.

කෙසේ වෙතත් ඇමැති මණ්‌ඩල සංශෝධනය අනිද්දා (19) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.

මෙම ඇමැති මණ්‌ඩල සංශෝධනය මෙම සතිය ආරම්භයේ සිදුකිරීමට නියමිතව තිබුණත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටි නිසා එය ප්‍රමාද වී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 18 May 2017 11:36