March 29, 2024

ගීතාගේ තීන්දුවෙන් පසු අවුල් ජාලාවක්‌?

ආණ්‌ඩුවට හිතවත් කෙනකු පත්කර ගැනීමේ අරමුණින් දුරදිග නොබලා ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එරෙහිව නඩුවක්‌ පැවරීමෙන් අවුල් ජාලාවක්‌ ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධාන ලැයිස්‌තුව අවලංගු විය හැකි බවට විවාදයට මතු වී තිබෙන මතය අධිකරණය විසින් පිළිගන්නේ නම් ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුර දෙකක්‌ ඇතුළු ගාලු දිස්‌ත්‍රික්‌ සන්ධාන ලැයිස්‌තුවට අහිමි වන බව ද ඒ මහතා පැවසී ය.

නීති මහාචාර්යවරුන් හා විද්වතුන් මෙම මතය ප්‍රකාශ කර ඇති බවත් එම මතයේ නිවැරදිභාවය පිළිබඳව තමන්ට සැකයක්‌ තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින මතය අනුව එලෙස ගාලු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ධුර අහිමි වුවහොත් පාර්ලිමේන්තු සංයුතිය වෙනස්‌ වීමෙන් මෙම අවුල මතුවන බවත් ඉන් වාසි ලැබෙන්නේ එජාපයට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ධූරවලට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 115 වැනි වගන්තිය අනුව එක් මන්ත්‍රීවරයකුගේ ධූරය අහෝසි වීම අනෙක් මන්ත්‍රීවරුන්ට බල නොපාන බව සඳහන්වන බවද මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

ඇපෑල අද යළි සලකා බලයි

මේ අතර ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගොනු කළ ඇපෑල පෙත්සම අද (15) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබාදී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මක වීමද පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එම අත්හිටුවීමේ නියෝගය අද දිනය තෙක්‌ බල පැවැත්වේ. 

අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක්‌ ගොනු කර තිබේ. ඇපෑල පිළිබඳ විභාගයක්‌ පවත්වා අවසන් වන තුරු අභියාචනාධිකරණ නඩු තීන්දුව අත්හිටුවන ලෙසට ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව අද දක්‌වා අත්හිටුවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල් පෙත්සම අද යළි කැඳවීමටද සියලු පාර්ශවලින් ඉදිරිපත්වන කරුණු සලකා බලා සුදුසු තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 May 2017 12:08