April 19, 2024

මහින්දගේ ආරක්ෂාව ගැන චන්ද්‍රිකා ප්‍රශ්න කරයි

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී මාසයේ සිය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනපතිනිය ඒ බව සඳහන් කළේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මතුකරන විරෝධය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ තමන්ට ආරක්ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන මෙන් ආරක්ෂක මණ්ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්ෂා භටයන් 150 ක් දක්වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි.

එහෙත් රාජපක්ෂ පරිපාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40 ක් සහ ඉතා අයහපත් තත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවත් හිටපු ජනපතිවරිය පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපවතින අතර, යහපත් ආරක්ෂක තත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් හිටපු ජනපතිවරියගේ නිවේදනයේ දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 May 2017 09:44