April 24, 2024

දින 3කට වරක් ජනපති විශේෂ සාකච්ඡාවක

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ප‍්‍රමුඛ අවධානයට යොමු විය.

එමෙන්ම තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත් කරමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමූ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එම කටයුතු සඳහා මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 03 ක් තාවකාලිකව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපතිවරයා නියෝග කරනු ලැබුවේ එම ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව එම යොමු කිරීම් සිදු කරන ලෙසය.

එම ජනතාවගේ නිවාසවල ඇති භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර එම බඩු බාහිරාදිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීමටත්, ඒ සඳහා ආරක්ෂාව සැපයීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ආපදාවට ලක්වූ පවුල් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර විපතට පත් පවුල් සංඛ්‍යාව සහ හානි වූ දේපළ පිළිබඳ නිසි ගණනයක් හා තක්සේරුවක් සිදු කොට ඒ පිළිබඳ වාර්තාව දින 05 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සෙවීමේ හා මුදා ගැනීමේ කි‍්‍රයාන්විතයේ ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර ජනතාවට සහන සැලසීමට සහ නැවත පදිංචි කිරීම් සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරුණි.

එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවේ ජනතාවගේ චෝදනාවට ලක් නොවන අයුරින් එම කටයුතු සිදු කළ යුතු බවයි.

එමෙන්ම ආපදාවෙන් මරණයට පත්වූ අයගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එම කටයුතු අද දිනයේ සිට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සොයා බලා ඉටු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මෙම රැස්වීම දින තුනකට වරක් කැඳවීමටද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ලබන බදාදා පෙ.ව 8.30 ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී නැවත සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම් මරික්කාර්, ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)