March 29, 2024

ආණ්ඩු පෙරළියට ඒකාබද්ධ අරගලයකට ජවිපෙ සූදානම්

වත්මන් ආණ්ඩුව පෙරළිය යුතු බවට කිසිදු විවාදයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

රටේ ජාතික සම්පත් ගැන කිසිදු හැඟීමකින් තොරව විකිණීමේ ප්‍රතිපත්තිය හිස දරා කටයුතු කරන අගමැති වික්‍රමසිංහගේ ඊළඟ ඉලක්කය ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට යොමු කර ඇති බවට ජවිපෙ නායකයා චෝදනා කරයි.

අගමැතිගේ එම ඉලක්කය පරාජය කිරීමට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඒකාබද්ධව දැවැන්ත අරගලයකට යෑමට සූදානම් බවද මන්ත්‍රිවරයා සහතික විය.
රටේ තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය හරහා අවුරුද්දකට දරන පිරිවැය රුපියල් මිලියන 610කින් අඩු කළ හැකි සේම වසරකට රුපියල් මිලියන 1,000ක් ලාභ ලැබිය හැකි ත්‍රිකුණාමලය තෙල් ගබඩාව අගමැතිවරයා විකිණීමට උත්සාහ දරන්නේ කැබිනට් මණ්ඩල තීන්දුවලට පවා පයින් ගසමින් බවටද ඒ මහතා චෝදනා කළේය.

අනුර දිසානායක මහතා මෙසේද පැවැසීය.

“ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 102ක් තිබුණා. ඉන් 3ක් හානි වෙලා. 99ක් සක්‍රිය තත්ත්වයේ පවතිනවා. 1930 බ්‍රිතාන්‍ය පාලන යුගයේ රජය ආරම්භ කළේ. මේ එක් තෙල් ටැංකියක තෙල් මෙට්රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා කළ හැකි වන්නේ මෙට්රික් ටොන් ලක්ෂ 4යි. ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයේ පමණයි තෙල් මෙට්රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි වන්නේ.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හැමදාමත් කරන්නේ දේපළ විකිණීම පමණයි. 2003 ඔහුගේ ආණ්ඩු සංක්‍රාන්ති සමය තුළ මේ තෙල් ටැංකි ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමට බදුදෙන්න ගිවිසුම් අස්සන් කළා.

2005 සිට 2009 දක්වා වසර පහක කාලය තුළ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව රුපියල් මිලියන 692ක බද්දක් ගෙවද්දි ලැබුණු බදු ආදායම ඩොලර් මිලියන 75යි. මේක හරියට තමන්ගේ ගෙදර ලක්ෂයකට කුලියට දීලා ඒ ගෙදරම කාමරය ලක්ෂ 10කට කුලියට ගත්තා වගේ. මේ තෙල් ටැංකි බදු දීම සම්බන්ධව නීත්‍යනුකූලද නැද්ද කියලා ප්‍රශ්නය දිගින් දිගටම පැන නැඟුණා.

2016.04.28 විෂය භාර ඇමැති චන්දිම වීරක්කොඩි කැබිනට් පත්‍රිකාවක් දානවා. මාස 6න් 6ට අස්සන් කළ යුතු බදු ගිවිසුම අස්සන් කර නැති බව. ඒ නිසා මේ බදු ගිවිසුම දැන් බලගතු නෑ කියලා. ඊට පසුත් 2016 ජුනි 1 කැබිනට් පත්‍රිකාවක් එනවා එයට අනුමතය දීලා. මේ විදියට කැබිනට් මණ්ඩල අනුමත කිරීමෙන් පෙන්නුම් කරන්නේ අයි.ඕ.සී. සමාගම දැනට ඉන්නේ බලහත්කාරයෙන් කියලා.

රටේ සම්පත් ගැන කිසිම හැඟීමක් නැති සියල්ල විකිණිය යුතුයි කියලා හිතන අගමැති රනිල් වික්‍රමසිංහ ඊට පසුව 2016.06.06 කැබිනට් පත්‍රිකාවක් දාලා කියනවා මේ සියලු නියෝග අවලංගු කර ඉන්දියානු සමාගමයි ලංකා තෙල් සංස්ථාවයි කළ හවුල් ව්‍යාපාරය දිගටම කරන්න ඉඩ දෙන්න, මෙය සංවර්ධනය කරගෙන ඉදිරියට ගෙන යන්න දෙන්න කියලා. මේ මඟින් එයට ඉඩදීමට අවශ්‍ය කටයුතුවලට සංවර්ධන උපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා අවුරුද්දකට දරන පිරිවැය රුපියල් මිලියන 610කින් අඩු කරන්න පුළුවන් ත්‍රිකුණාමලය සිට තෙල් බෙදාහරින්න පටන් ගත්තොත්.

සාමාන්‍යයෙන් කොළොන්නාවේ තෙල් බෙදා හැර ඒවා බාන්න සති 2ක් යනවා. නමුත් ත්‍රිකුණාමලයෙ ගබඩාවට සතියකින් බාන්න පුළුවන්. මේවා උපයෝගි කරගත්තොත් වසරකට රුපියල් මිලියන 1,000ක් ලාභ උපයන්න පුළුවන්.
ඒ නිසා මේ ජාතික සම්පත් විදේශීය සමාගම්වලට පැවැරීම නැවැත්විය යුතුයි. ඒ සඳහා වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ ඒකාබද්ධව මේ කටයුත්ත පරාජය කරන බව සහතික කරනවා.“ යැයිද අනුර කුමාර මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 April 2017 10:29