April 26, 2024

රහස් සාකච්ඡාවට දිනේෂ්, ජනපතිගෙන් තවත් දිනයක් ඉල්ලයි

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 07 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදීය. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ විමලවීර දිසානායක යන මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ. මේ සාකච්ඡාව විනාඩි විස්සක් පමණ පැවැති බවද වාර්තා වේ.

විධ්‍යගත අරමුදලින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ලබාදී ඇති මුදල් වැය කිරීම කලින් ලබාදී ඇති සැලසුම් හා නිර්දේශ වෙනස් කෙරෙමින් කටයුතු කිරීමේ අවස්ථා පැවැතීම නිසා අවුල්සහගත තත්ත්වයක් ඇති වී තිබෙන බවට එම සාකච්ඡාවේදී මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන් බවද මෙහිදී තවත් කරුණු පිළිබඳවද සාකච්ඡා වූ බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා හමුවීම සඳහා ඉදිරි දිනක අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමද ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ පිළිගත් බවද වාර්තා වේ.

ජනාධිපතිවරයා හමුවීමට පැමිණි ශ්‍රීලනිපයේ සහ එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසකට එම සාකච්ඡාව අවසන් වන තෙක් ජනාධිපති නිල කාමරයේ අසල රැඳී සිටින්නට සිදු වූ බවද දැනගන්නට ඇත.

Rate this item
(0 votes)