April 20, 2024

එජාපය ගැන ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

රාජ්‍ය දේපළ විදේශ සමාගම්වලට පැවැරීමේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළට දායකවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් බැවින් ඒ සඳහා වහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

හම්බන්තොට වරාය අනූනව අවුරුදු බද්දට චීන සමාගමකට පැවැරීමත්, ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි ඉන්දියන් සමාගමකට පැවැරීමත් ඇතුළු රාජ්‍ය දේපළ විදේශ සමාගම්වලට පැවැරීමෙන් රට විදේශීයකරණය වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව මහජනතාවගේ ද විරෝධය එල්ලවී ඇති බව මෙම ඇමැතිවරු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය 04වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ශ්‍රීලනිප ඇමැතිවරු විරෝධය පළ කර තිබේ.

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දීය සමාගමකට බදු දීම සම්බන්ධයෙන් අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුගේ විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි 15ක් ඉන්දීය සමාගමට බදු දී 15ක් රජය සන්තකයේ තබා ගත යුතු බවට එහිදී ඛනිජ තෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර රජයේ දේපළ මෙලෙස විකිණීමෙන් ජනතා විරෝධයක් මතු විය හැකි බවට එහිදී දයාසිරි ජයසේකර ඇමැතිවරයාද පෙන්වා දී තිබේ.

රටේ ආර්ථික මර්මස්ථාන පිටරටට විකුණන බවට ජනතාව තුළ කුකුසක් ඇති වී ඇති බැවින් මෙම කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතු යැයි අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාද මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

“ජනතාව ගැන අපි බලාගන්නම්. ඇමැතිවරු ඊට වද විය යුතු නෑ“ යැයි එහිදී අගමැතිවරයා තදින් පවසා ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 April 2017 02:08