April 19, 2024

ශ්‍රීලනිපයේ තනතුරු මාරුවක්: සංවිධායකවරයෙකු දොට්ට

ඉදිරි දින කිහිපය තුළදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ තනතුරු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම සංශෝධනයට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක් සඳහා නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට සැලසුම් කර ඇති බවත් වත්මන් ආසන සංවිධායකවරයකු එම තනතුරින් ඉවත් කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට පඬුවස්නුවර ආසන සංවිධායකවරයා ලෙස දැනට කටයුතු කරමින් සිටින නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කිරීමට යන බව වාර්තා වෙයි. 

පඬුවස්නුවර ආසනයේ නව ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස බිංගිරිය ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස දැනට කටයුතු කරමින් සිටින ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පත් කෙරෙනු ඇති බවත් බිංගිරිය ශ්‍රීලනිප නව සංවිධායකවරයා ලෙස වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පත් කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 April 2017 17:19