March 28, 2024

විමල්ට පහසුකම් දුන්නේ රනිල්?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය ආරම්භ කළේ ප්‍රධාන ආගමික වැඩ කටයුත්තකට සහභාගි වෙමිනි. මරදාන - සුදුවැල්ල අභය විජයාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකෙරුණු අඩි 30 ක් උසැති අවුකන පිළිමයේ අනුරුව සහිත පිළිම වහන්සේ නිරාවරණය කිරීමට පසුගිය සඳුදා උදෑසනම රනිල් සහභාගි වූයේය.

හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන කිත්සිරි රාජපක්ෂගේ මූලිකත්වයෙන් බුදු පිළිමයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර තිබිණි. අභිනව පිළිම වහන්සේ නිරාවරණය කිරමෙන් අනතුරුව රුපියල් ලක්ෂ ගණනක පඬුරු පූජාවක් ද රනිල් විසින් ඒ අවස්ථාවේදිම කරන ලදී.

බ්‍රහස්පතින්දා දිනයේ රාජකාරි ආරම්භ කරමින් උදෑසනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම බලා‍පොරොත්තුවෙන් මැති ඇමැතිවරු කිහිපදෙනෙක් එහි වූහ.

ආසියා - පැසිෆික්  කලාපයේ හොඳම මුදල් ඇමැති සම්මානය ගැනීමට ලන්ඩන් නුවරට ගිය රවි කරුණානායක ඇමැතිවරයා ද මේ අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයකි.

අග්‍රාමාත්‍යවරයා කාර්යාලයට පැමිණෙද්දීම ඉදිරියට පැමිණි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ “අප නම් උදේ කෑම අරගෙනයි ආවේ. අගමැතිතුමත් එහෙම වෙන්න ඇති නේද?” කියාය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රශ්න කිරීම් හමුවේ බැරෑරුම් ස්වරූපයක් මවා ගත් අගමැතිවරයා “මොකද අද අමුතු ප්‍රශ්නයක් ඇහුවේ” යැයි විමසීය.

“සර් උපවාස කළ විමල් වීරවංශ ජාතික රෝහලට ඇතුළත් කරලා. දැන් එතන සියලු පහසුකම් සහිතව ප්‍රතිකාර කරනවා“ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“කොහොම වුණත් සර් විමල් වීරවංශට ජාතික රෝහලට යන්න හම්බවුණේ ඒකාබද්ධ විපක්ෂයේ හමුවිම නිසා දැයි“ ලක්ෂ්මන් කිරිඇල්ල කෙළින්ම කරුණු විමසා සිටියේ රනිල්ගෙන්ය. එයට සිනාවකින් පිළිතුරු දුන්නා මිස රනිල් කිසිවක් කියන්න ගියේ නැත.

Rate this item
(0 votes)