April 25, 2024

වීරවංශගේ උපවාසය රංගනයක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනිවාර්යයෙන්ම උපවාසය අත්හරින බව දැනසිටියේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

උපවාස කළ පමණින් ඇප ලබාදීමට අධිකරණය බැඳී නොසිටින බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට ඉහතදී මෙවැනිම උපවාසයක නිරත වූ ආකාරය සිහිපත් කළ ඔහු, ඒ අවස්ථාවේ මෙන්ම මෙවර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ රංගනය අසාර්ථක වූ බවත් සඳහන් කළේය.

විමල්ගේ අරමුණ ඉටුවුණාද?

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹ ජාතික රෝහලේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සතියකට අධික කාලයක් නිරතවුණු උපවාසය මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි අතහැර දැමීමට තීරණය කළ බවයි.

"මහා සංඝරත්නය විරවංශ මන්ත්‍රීවරයාට දැනුම්දී සිටියා, එතුමා මිය ගිහින් මේ රටට කරන සේවයට වඩා වැඩි සේවයක් එතුමාට ජිවත් වෙලා කරන්න පුළුවන්, ඒ නිසා මේ උපවාසය අත්හරින්න කියලා" යැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මින් පෙර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් විරවංශ මන්ත්‍රීවරයා යෙදුනු උපවාසය මෙන්ම මෙම උපවාසය ද අරමුණ ඉටු නොවී අවසන් වුයේ නොවේදැයි එහි පැමිණ සිටි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ "නැහැ, උපවාසය පටන් ගත්තේ ඔහුට වුන අසාධාරණයක් වෙනුවෙන්, නමුත් යුතුකම ඉටුවුණේ නැතත් මහ සංඝරත්නයට ගරු කරන එක සුභවාදී දෙයක්" 

ඇතැම් අවස්ථාවලදී කරන සැම දේම සාර්ථක නොවන නමුත් එයින් රටට පණිවිඩයක් ලැබුණු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

රජයේ සාක්ෂිකරුවෙක්? 

රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවු සියලු වංචා හා දුෂණ පිළිබඳ හෙළිකර ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර රජයේ සාක්ෂිකරුවෙක් වීමට විමල් වීරවංශ මහතාට අවස්ථාව හිමිව ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ සමාජික අකලංක හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ විමල් වීරවංශ මහතා කිසිම අවස්ථාවක තමා වරදක් සිදු නොකළ බව ප්‍රකාශ කරන්නේ නැති බවත් තමා පමණක් නොව වාහන අවභාවිතා කරනු ලැබු තවත් අය ඉන්නවා යැයි ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත්ය.

විමල් වීරවංශ මහතා රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් සිවිල් සංවිධාන ලෙස ඒ සම්බන්ධයෙන් රජයට බලපෑමක් කිරීමට ඉදිරිපත් විය හැකි බවත් අධිකරණ තීන්දුවට එරෙහිව උපවාස කිරීම සාධාරණයක් ලබා ගත හැකි පිළිතුරක් නොවන බවත් අකලංක හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (30) සිය උපවාසය අත්හැරීමට තීරණය කළේය.

දුෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වීරවංශ මන්ත්‍රීවරයා සිය ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.

ජාතික රෝහලට ඊයේ පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසී ය

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 April 2017 10:43