April 25, 2024

මන්තී‍්‍රධූරවල වෙනසක්! යාපනයට වැඩිවෙයි

2016 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත‍්‍රික් දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර වෙනස් වී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත්කෙරෙන නව ගැසට් පත්‍රය අනුව බදුල්ල දිසත්‍රික්කයේ පැවැති මන්ත්‍රී ආසන ගණන එකකින් අඩුවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයට හිමිව තිබූ මන්ත්‍රී ආසන ගණන එකකින් වැඩි වී තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණන 8 සිට 7 දක්වා පහළ බසින අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණන 7 සිට 8 දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව ඊයේ (29) ප්‍රකාශයට පත්කෙරිණි.

දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව නිර්ණය කරනුයේ අදාළ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය හා වාර්ෂිකව ඡන්ද හිම නාම‍ලේඛනයේ ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමෙනි.

ඒ අනුව මෙවර ඡන්ද හිමි නාම‍ලේඛන සංඛ්‍යාවට අනුව මෙලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ආසනයක් අඩුවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම ජාත්‍යන්තර වශයෙන්ද ගැටළු මතු කරන්නක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 31 March 2017 12:10