April 25, 2024

කරළියෙන් එහා: එජාපයේ පුටු පෙරළියක් - මෛත්‍රී පිල සමග බැසිල් රහස් සාකච්ඡාවක

ඇමැති මණ්ඩල සංශෝධනත් නව ව්‍යවස්ථාව සැකසීම පිළිබඳවත් පසුගිය සතියේ ‍දේශපාලන කරළිය තුළ කතාබහක් ඇතිවිය. ඒ අනුව ඇමැති මාරුව ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (16) පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාට රටටත් හම්බන්තොටටත් දැනට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කළ හැකි ශක්තිමත් ඇමැති ධුරයක් ලබා දීමට තමා තීරණය කරන බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයට මහින්ද අමරවීර ධීවර හා ජලජ සම්පත් කැබිනට් ඇමැතිවරයාත්, නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාත්, පළාත් ධීවර ඇමැතිවරයාත් ඇතුළු ධීවර ඇමැතිවරුන් තුන් දෙනකු සිටියි. තංගල්ලට පමණක් ධීවර ඇමැතිවරු තුන් දෙනෙක් සිටින බැවින් තමා ළඟදීම මහින්ද අමරවීර මහතාට වැඩි වගකීමක් පවරන බවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටුකළ හැකි අමාත්‍යාංශයක් මහින්ද අමරවීර මහතාට ලබාදීමට කටයුතු කරන බවද  ජනපතිවරයා එහිදී සඳහන් කළේය. 

මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ තමාගේ අමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවනවානම් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්තක් බවයි. 

චන්ද්‍රිකාට ‘හූ‘ කියයි

මේ අතර අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ‘ජාතික  ව්‍යාපාරය’ නමින් නව සංවිධානයක්ද මේ වනවිට අලුතින් බිහි වී ඇති අතර එහි සමාරම්භක රැස්වීම පසුගිය සතියේදී කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිස් එක්ව සිටියහ.

උත්සව සභාව ආරම්භයේදී රැස්ව සිටි පිරිස අතර උන් කිහිපදෙනෙක් ප්‍රධාන පීඨිකාව මත සිටින සංවිධානයේ නිලධාරි මණ්ඩලය තුළ කාන්තා නියෝජනයක් නොමැතිවීම පිළිබඳව විරෝධතා මතු කළහ. ප්‍රශ්න කළහ.  කෙසේ වෙතත් සංවිධායක මණ්ඩලයේ නිලධාරීහු මැදිහත්ව මතු වූ එම විරෝධතාව සමථයකට පත් කළහ. අනතුරුව උත්සවයේ ආරාධිතයන් පිළිගැනීමේ අවස්ථාව උදාවිය. එහිදී හිටපු ජනාධිපතිනියගේ නම ප්‍රකාශ කරන අවස්ථාවේදීම සභාවේ සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු ‘හූ’ හඬක් නැගීය. ‘හූ’ හඬ නැගුණු ප්‍රථම අවස්ථාවේදීම සභාවේ සිටි සෙසු පිරිස ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළ නමුත් පසුව දිගින් දිගටම ඔහු සභාවේ කටයුතුවලට බාධා වන ලෙස හැසිරීමට පටන් ගත්තේය.

‘එන්.ජී.ඕ. කාරයෝ’ ‘එන්.ජී.ඕ. සල්ලි‘ වැනි දේ කියමින් හඬ නගමින් දිගින් දිගට මෙම වයෝවෘද්ධ පුද්ගලයා සභාවේ කටයුතුවලට බාධා කිරීම නිසා සංවිධායකයෝ එක් වී ඔහු බලහත්කාරයෙන්ම ඔසවාගෙන ගොස් සභාවෙන් පිටත ස්ථානයක තැබූහ. එම ස්ථානයේ  සිටද එම පුද්ගලයා මද වේලාවක් කෑ ගසමින් විරෝධය පළ කරමින් සිට පසුව පිටත්ව ගියේය.

පළාත් ඡන්ද එකවරම

උතුරු මැද, නැගෙනහිර හා සබරගමු පළාත් සභාවල නිල කාලය මෙම වසරේ  සැප්තැම්බර්  මසදී අවසන් වීමට නියමිතය. ඒ අනුව මෙම පළාත් සභාවන් සඳහා ඡන්ද පැවැත්වීමටද රජයට සිදුවී තිබේ. මේ පිළිබඳව රජයේ මතය වී ඇත්තේ පළාත් සභා කිහිපයක් සඳහා වෙන් වෙන්ව ඡන්ද පැවැත්වීම මුදල් නාස්තියක් වන බවයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය රට පුරා එකවර පැවැත්විමට රජයේ අරමුණ වී ඇත.

කෙසේ වෙතත් රජයේ මෙම අරමුණටද බාධක කිහිපයක්ම එල්ල වී ඇත. එනම් සෙසු බොහොමයක් පළාත් සභාවල නිලකාලය අවසන් විමට තව  වසරක් පමණ බලා හිඳීමට සිදුවීමයි. ඒ අනුව රජයේ අවධානය මේ වනවිට යොමුව ඇත්තේ එවන් පළාත් සභා කිහිපයක් කලින් විසුරුවා නිල කාලය අවසන්වන පළාත් සභා තුන සමග එකට එක්කොට මැතිරණය පැවැත්විම පිළිබඳවයි.

එජාපයේ වාසියට පළාත් සභා විසුරුවයි

එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසි දායක පළාත් සභා කිහිපයක් තෝරාගෙන මෙසේ ඒවා කලින් විසුරුවා මැතිවරණය පැවැත්වීමේ උත්සහයකද රජයේ එ.ජා.ප. පාර්ශ්වය මේ වනවිට නිරතවෙමින් ඇත. ඌව පළාත් සභාව, මෙසේ එ.ජා.පයට වාසිදායක වනු ඇති බවට සැලකෙන පළාත් සභාවකි. නමුත් එහි මැතිවරණය පැවැත්වුණේ මෑතකදීය. එහි මහ අමාත්‍යධුරය දරන්නේ සම්පත් දසනායක මහතාය. ඔහු පළාත් සභාවට පැමිණියේ තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද කැප කරමින්ය. ඒ අනුව පළාත් සභාව කලින් විසුරුවා මැතිවරණයකට යාමට ඔහුගේ කැමැත්තක් නැත. ඔහු මේ පිළිබඳව තමා තුළ ඇති  විරෝධය  අවස්ථා කිහිපයකදීම පක්ෂයේ ප්‍රධානීන් වෙතද දැනුම් දී ඇත.

මේ අතර උතුරු පළාත් සභාවේ  මහඇමැති විග්නේෂ්වරන් මහතාද මෙසේ තම පළාත් සභාව කලින් විසුරුවා හැරීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වයි. මේ අනුව පළාත් පාලන මැතිවරණය වෙනස් කොට පළාත් සභා මැතිවරණය පැවැත්වුවද රජයට එයද මේ වනවිට බරපතළ ගැටලුවක් හා අර්බුදයක් බවට පත්ව ඇත. මේ අතර පළාත් සභා ඡන්දය කොයි මොහොතක හෝ පැවැත්විය හැකි බැවින් ඊට නිසි පරිදි මුහුණදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සූදානම් වෙමින් සිටී. මෙහිදී මෙම පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පරාජය කරලීම සඳහා විශේෂ උපක්‍රම කිහිපයක් අනුමගනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය බලා‍පොරොත්තු වේ.

ඒ ඒ පළාත්වල ජනප්‍රිය දේශපාලනඥයන් මෙම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරලීම ඒකාබද්ධ විපක්ෂයේ මෙවන් එක් උපක්‍රමයකි. ඒ අනුව සබරගමුවේ පළාත් සභා මැතිවරණය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කිරීම, උතුරු මැද පළාත් සභාව සඳහා එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කිරීම වැනි උපක්‍රම පිළිබඳව මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් සිටී.

එජාපයේ තනතුරු වෙනසක්!

එක්සත් ජාතික පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා රැස්වුණු අතර එහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම පිළිබඳව සාකච්ඡා විය. එක්සත් ජාතික පක්ෂය සදහා උප නායක තනතුරු 3ක් අලුතින් ඇති කිරීමට මෙහිදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් විය. සරත් ෆොන්සේකා මහතාට, මංගල සමරවීර මහතාට හා රංජිත්  මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එම උපනායක තනතුරු සඳහා පත් කිරීමටද මෙහිදී යෝජනා විය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එ.ජා.ප. මහ ‍ලේකම් කබිර් හසීම් මහතාය. මෙම යෝජනාවට කිසිවෙක් විරුද්ධත්වයක් පළ නොකළහ. ඒ අනුව ඉදිරියේදී සරත් ෆොන්සේකා, මංගල සමරවීර හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් තිදෙනා ඉදිරියේදී එජාපයේ උප නායකවරුන් ලෙස පත්වීම් ලබනු ඇත.

අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ නැන්දණියගේ අවමඟුල් උත්සවය පසුගිය සතියේ පැවැත්වුණු අතර ඒ සඳහා රජයේ මෙන්ම  විපක්ෂයේද දේශපාලනඥයෝ රැසක් සහභාගි වූහ. මෙම අවමංගල්‍ය උත්සවය අතරතුර බැසිල් රාජපක්ෂ මහතා, නිමල් සිරිපාල ද සිල්වා මහතා ජෝන් සෙනවිරත්න මහතා අතර විශේෂ කතාබහක්ද ඇතිවිය. මෙය ‘රහස් සාකච්ඡාවක්’ ස්වරූපයක් ගත් අතර ඒ සඳහා අවමංගල්‍ය උත්සවයට එක් වු සෙසු කිසිදු මැති ඇමැතිවරයෙකු සහභාගි නොවීම  විශේෂත්වයක් විය. මෙම සාකච්ඡාවේදී  රටේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳ ඉතාම වැදගත් කරුණු රැසක් කථාබහට ලක් වූ බව  දැන ගන්නට ඇත. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මෙම තිදෙනා අවමංගලයෝත්සවයට එක්ව සිටි සෙසු දේශපාලනඥයන් සමගද සුහද කතා බහක නිරත වින. මේ අවස්ථාවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු  කටයුතු ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාද එක්ව සිටියහ. මෙහිදී ජෝන් සෙනවිරත්න මහතා අසලට ගිය හෙට්ටිගේ මහතා ‘ඇමැතිතුමා අත ‍පොඩ්ඩක් දෙන්න සාස්තරයක් බලන්න’ යැයි පැවැසීය. සෙනෙවිරත්න මහතාද කුතුහලයෙන් යුතුව තම සුරත හෙට්ටිගේ මහතා වෙත දිගු කළේය. එය හොඳින් පරීක්ෂා කළ හෙට්ටිගේ මහතා ‘ළඟදීම ලොකු බලපෙරළියකට අත ගහන්න වෙනවා’ යැයි පැවැසීය.

මේ ප්‍රකාශය ඇසීමෙන් අසල සිටි  සියලුදෙනාගේම මුවට සිනහවක් එක්විය. ‘අ‍පෝ අපේ ඕව දැන් කතා කරන්න එපා’ යැයි කියමින් සෙනෙවිරත්න මහතාද සිනා මුසු මුහුණින් එතනින් වහා ඉවත්ව ගියේය. ඒ දුටු රංජිත් සොයිසා මහතා පැවැසුවේ ‘දැන් ඉතින් බලපෙරළියට අත ගහනවා ඇරෙන්න සෙනෙවිරත්න මහතාට වෙන කරන්න දෙයක් නැහැ’ යනුවෙනි. ‘ඔයා කොහොමද සාස්තර කියන්න ඉගෙන ගත්තේ’ මෙහිදී නාමල් රාජපක්ෂ මහතා හෙට්ටිගේ මහතාගෙන් විමසීය. මේ දවස්වල රස්සාවකුත් නැති නිසා මම සාස්තර ‍පොතක් කියවලා සාස්තර කියන්න ඉගෙන ගත්තා’ යැයි හෙට්ටිගේ මහතා සිනහවෙමින් පිළිතුරු දුන්නේය. අවමංගල්‍යෝත්සවයට එක්ව සිටි  සිය දේශපාලන සඟයින්ට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි. ඒ සෙනෙවිරත්න මහතාගේ නිවස අසල හෝටලයකදීය.

රාජපක්ෂවරුන් අතර විරසකයක් ඇති කිරීමේ තැතක්

මෙහිදී පැවැති සුහද කතාබහේදී බැසිල් රාජපක්ෂ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අදහස්  දැක්විය. ‘ගොඩක් අය මේ දවස්වල රාජපක්ෂවරුන් අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ කරනවා. නමුත් ඒක හිතනවට වඩා බොහෝම අමාරු වැඩක්’ යැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසී ය.

අලුත් පක්ෂයේ වැඩ කොහොමදැයි මෙහිදී රැස්ව සිටි පිරිස ප්‍රශ්න කළේය. ‘එහි සංවිධාන කටයුතු  සාර්ථකව කෙරීගෙන යනවා. ඉදිරියේදී අපි ඒ පක්ෂයෙන් තමයි මැතිවරණවලට මුහුණ දෙන්නේ’ යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

කෝප් කමිටුවට ඉල්ලීම් ගලයි

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංගම්, දෙමාපියන් ඇතුළු පිරිස් විසින් කෝප් කමිටුවේ සභාපතිවරයාටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කෝප් සාමාජිකයින්ටත් විශාල වශයෙන් දුරකතන ඇමතුම් ගලා එන්නට විය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් තමන්ටත් අදහස් දැක්වීමට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදෙන ලෙස දුරකතන අමතුම්වලින් ඔවුන් ඉල්ලා සිටියහ. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සහ දෙමාපියන් මේ ආකාරයට අදහස් දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටියහ. සියලූ දෙනාට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදීමට හැකියාව ඇත්දැයි කෝප් කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සියලූ දෙනාට දැනුම්දීමට කටයුතු කළේය. දුරකතන ඇමතුම් ලැබුණු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයාද කෝප් කමිටුවේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන බවට ඇමතුම් ලබාදුන් පිරිසට කියා සිටියේය. මේ අතර මාර්තු 20වෙනිදා පළමු වටයේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ආයතනික විමර්ශන කමිටු සහ විෂයමාලා විමර්ශන කමිටු කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබේ. මෙහිදී සයිටම් ආයතනයට උපාධි ආයතනයක් ලෙස කටයුතු කිරීමට අනුමැතිය ලබාදී තිබේද යන්නත් එසේනම් ඒ නීත්‍යානුකූල අයුරින්ද යන්නත් පිළිබඳව අදාල පාර්ශවයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

එතෙර ශ‍්‍රී ලාංකිකයින්ගේ අයිතීන් වෙනුවෙන් සමුළු මාලාවක්

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ එතෙර අපි සංවිධානයේ ජාතික විධායක කමිටුව පසුගිය සතියේ මහරගමදී රැස්විය. එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ජාතික සංවිධායක සංජීව මුණසිංහ, ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි ඇතුළු ජාතික විධායක සභාවේ සාමාජිකයින් එම රැස්වීමට සහභාගිවී සිටියහ. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය, විශ‍්‍රාම වැටුප, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ඇතුළු ගැටලූ ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ලක්විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයෙක්ද වන සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වත්මන් තත්වය පිළිබඳව සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින්ට සමාලෝචනයක් ඉදිරිපත් කළේය. ”අපි පාර්ලිමේන්තු කමිටුවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ආගමන විගමන පාලක, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලේකම් ඇතුළු අදාල බලධාරීන් කැඳවලා තියෙනවා. ඒ සාකච්ඡාවලදී හැමෝම ආපු එකඟතාවයක් වුණේ විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඡන්දය ලබාදීමට යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි. දැනට විදේශ ගතව රැකියා කරන, රැකියා කරන රටේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටවල්වල ඡන්ද අයිතිය තියෙන පුද්ගලයින්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉදිරියේ පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයකදී විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඡන්දය පාවිච්චි කරන්න යාන්ත‍්‍රණයක් හදන්න කමිටුව කටයුතු කරමින් ඉන්නවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. 

”අපි අපේ සංවිධානය හැටියට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා විදෙස්ගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් ලබාදිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුව ඒ ගැන තවමත් කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ළමයි පාසල්වලට ඇතුළත් කරන්න ගියාම ලොකු දුෂ්කරතාවලට ඔවුන් මුහුණ දෙනවා. ඒකට විධිමත් වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා ආණ්ඩුවේ අවධානය යොමු කරන්න  ඕන” ලක්ෂ්මන් නිපුණආරච්චි කීවේය. ”අපි දැනට එතෙර අපි සංවිධාන පිහිටුවලා තියෙන රටවල්වල සමුළු මාලාවක් තියමු. ඒ රටවල්වල ඉන්න ශ‍්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා අයිතීන් දිනාගන්න ඉදිරි ක‍්‍රියාමාර්ගවලට සූදානම් කරන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි අපේ සංවිධානය පිහිටුවලා නැති රටවල්වල එතෙර අපි සංවිධානයේ ශාඛා පිහිටුවන්න  ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය. එම යෝජනාවට අනුව මාර්තු අපේ‍්‍රල් මාසවලදී මුල් අදියරේදී කැනඩාව, ප‍්‍රංශය, ඩුබායි, අබුඩාබි, කුවේට්, ඉතාලි යන රටවල්වලදී සමුළු මාලාවක් පැවැත්වීමටත් දෙවන අදියරේදී ජපානය, කොරියාව, කටාර්, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවකදී සමුළු පැවැත්වීමට තීරණය විය. එම සමුළු ඇමතීම සඳහා ජවිපෙ නායක අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් ඉදිරි දිනවලදී විදෙස්ගතවීමට නියමිතය. 

Rate this item
(0 votes)