April 20, 2024

කරළියෙන් එහා: මෛත්‍රී කලකිරීමෙන් - ෆොන්සේකා ගැන මහින්ද දුකින්

February 24, 2017

සයිටම් ප්‍රශ්නයෙන් දේශපාලන කරළිය තවමත් උණුසුම් වී තිබේ. සයිටම් අර්බුදය පිළිබඳව ඊට මැදිහත්ව සිටින සියලු පාර්ශව කුතුහලයෙන් බලා සිටියේ ජනාධිපතිවරයා කෙරෙහිය. සයිටම් ප්‍රශ්නය සියලු පාර්ශවවලට සාධාරණයක් වන ආකාරයට විසඳන බවට ජනාධිපතිවරයා මුලදීම පොරොන්දු වූයේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද මේ වන විට මෙම සයිටම් ප්‍රශ්නය මූල් කර ගනිමින් දෙකට බෙදී ඇත. එහි සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා සයිටම් විරෝධී අදහස් දරන්නෙකි. නමුත් එම සම්මේනයේ හිටපු ප්‍රධානියකු වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුර දිසානායක මහතා කටයුතු කරනුයේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාතී අන්දමිනි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිසානායක මහතාගේ දරුවකු මේ වන විට එම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබිමයි.

මේ හේතුව නිසා මේ වන විට සයිටම් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජික අචාර්යවරුන් අතරද මත ගැටුම් හා සම්මත මතුවෙමින් ඇත. ඒ හේතුවෙන් සම්මේලනයේ වැඩකටයුතුවලටද යම් බාධාවක්  එල්ල වෙමින් ඇත. ඒ අනුව වහා ජනාධිපතිවරයා සමගද මේ පිළිබඳව සාකච්ඡා කර මෙම අර්බුදයන්ට යම් විසඳුමක් ලබා ගැනීමට සම්මේලනයේ ඉහළ  නිලධාරීහු අපේක්ෂා කරයි.

සයිටම් වෙඩිතැබීමේ සිදුවීම යටගහන්නේ කවුද? 

සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගතවී හමාරය. එම සිදුවීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී මෙම සිදුවීම සැලසුම් සහගතව සිදුකරගත් දෙයක් බවට සැක කළ හැකි කරුණු වාර්තා විය. අදාළ නිලධාරියා විසින් පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවටද කතාබහක් ඇතිවී තිබේ. එමෙන්ම වෙඩි තැබීමට පෙර රථයේ වීදුරුවට ගලකින් ගසා ඇති බවටත් අදාළ නිලධාරියා රියදුරු අසුනේ සිටියේ නම් අනිවාර්යෙන්ම වෙඩි ප‍්‍රහාරයට ලක්විය යුතු බවටත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම සිදුවීමෙන් පසුව අදාළ නිලධාරියා විදෙස්ගතවීමත් ගැටලූ සහගත කරුණක් විය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප‍්‍රශ්න කිරීමට ජවිපෙ නායකයා කටයුතු කළේ මෙම තත්වයන් සැලකිල්ලට ගෙනය. ඒ පසුගිය 22වෙනිදා පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. කෙසේ නමුත් විෂයභාර අමාත්‍යවරයා එම ප‍්‍රශ්නයට පිළිතුරුදීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම සංවාදය යන අතරතුරදී බිමල් රත්නායක කියා සිටියේ 

මේ අතර මෙම වෙඩිතැබීම පිළිබඳව සිදුවන පරීක්ෂණ යටගැසීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවට සැක පහළ වන කරුණුද සාකච්ඡා වෙමින් තිබේ. ”මුල්ලේරියාවේ පොලිසියට මේ පරීක්ෂණ ගැන දේශපාලන බලපෑම් එල්ල වෙනවලූ.” විජිත හේරත්ට මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමකට ඇමතුමක් ලබාගත් අවස්ථාවේදීය. මේ අතර අදාළ සිදුවීමට මුහුණ දුන් නිලධාරියා පසුගිය 22වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණියේය. ඔහු විමසා සිටියේ පක්ෂ නායක අනුර දිසානායක හමුවීම සඳහා පැමිණි බවයි. නමුත් එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් අනුර දිසානායක හමුවීමට නොහැකි වූ අතර ඔහු විසින් සකස් කළ ලිපියක් කාර්යාලයට භාරදී පිටත්ව ගියේය. 

මේ අතර සයිටම් විරෝධී පාගමන්, උද්ඝෝෂණ, රැලි මේ වනවිටත් රට පුරා පැවැත්වෙමින් තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධී මධ්‍යස්ථානය, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන මෙම රැුස්වීම් සංවිධානය කරන අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද එම අවස්ථාවන්ට සම්බන්ධවීමට කටයුතු කරමින් සිටියි. මේ අතර ජවිපෙ විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹදී පැවැත්වුණේ 23වැනි දිනය. මේ අවස්ථාවට පක්ෂ නායකයා ඇතුළු ජවිපෙ නායකයින්ද පක්ෂ ක‍්‍රියාකාරිකයින්ද එක්ව සිටියහ. 

කෘෂිකර්ම හිස් ගොඩනැගිල්ලට වසරක් පිරෙයි!

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා භාවිතයට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලට භාවිතයෙන් තොරව කුලී ගෙවීම මේ වනවිටත් සිදුවෙමින් තිබේ. ලබන අපේ‍්‍රල් මාසය වනවිට කුලී පදනම මත ලබාගෙන වසරක් සම්පූර්ණ වෙයි. පස් අවුරුද්දක් සඳහා ලබාගෙන ඇති මෙම ගොඩනැගිල්ල භාවිතයෙන් තොරව වසරක් ගෙවා දැමීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ අනුකාරක සභා රැුස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය. කෘෂිකර්ම ඉඩම් අමාත්‍යංශ අමාත්‍යංශ කාරක සභාවේ සභාපති විජිත හේරත් විසින් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් පසුගිය 21වෙනිදා පාර්ලිමේන්තුවට කැඳවා තිබිණි. ”මේ ගොඩනැගිල්ලේ ප‍්‍රශ්න කිහිපයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ සාප්පු සංකීර්ණයක් දාන්න. අමාත්‍යංශ කාර්යාලයක් සඳහා භාවිතා කරන්න සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. ඒක මිලියන ගානක ටෙන්ඩර් එකක් දාන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩනැගිල්ලට හරියන පාර්කින් එකක් හරියට නැහැ. එහෙම වුණොත් අමාත්‍යංශයට එන වාහන නවත්වන්න තැනක් නැහැ. අමාත්‍යංශ නිලධාරීන්ටත් වැඩ කරන්න වෙන්නේ සේවාමුර ක‍්‍රමයට. වසර 5කට අරගෙන දැන් වසරක් නිකන්ම ගතවෙලා. මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා.” අමාත්‍යංශ නිලධාරීහු කියා සිටියහ. 

පස් කැපිල්ලෙන් ආණ්ඩුවට මිලියන ගාණක් පාඩුයි

හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලකයින්ගේ උදව්වෙන් පස්කැපීමේ ජාවාරමක් ගැන පසුගියදා රූපවාහනී නාලිකාවක් විසින් හෙළිදරව් කළේ ගවේෂණශීලී මාධ්‍ය වාර්තාවක් පළකරමිනි. රහස් කැමරා මගින් පටිගතකරගත් දර්ශන ඔස්සේ මෙම වාර්තාව සකස්කර තිබුණි. මේ සම්බන්ධයෙන්ද කෘෂිකර්ම ඉඩම් අමාත්‍යංශ කාරක සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විණි. මේ සඳහා පරිසර අධිකාරියේ සභාපතිවරයා, භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා, මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැඳවා තිබිණි. එහිදී රූපවාහිනි නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයේ දර්ශන නිලධාරීන්ටද පෙන්වීමට සැලැස්වීය. ”අවසර පත‍්‍රයට ලබාදී තිබෙන පස් කියුබ් ප‍්‍රමාණයට වඩා වැඩියෙන් පස් කියුබ් ලක්ෂ එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් කපලා. ඒකෙන් ආණ්ඩුවට විශාල පාඩුවක්. භූවිද්‍යා එකට ගෙවන්නේ පස් කියුබ් එකකට රුපියල් 20යි. අනෙක් පැත්තෙන් පරිසරයට විශාල හානියක්” නිලධාරීහු පෙන්වා දුන්හ. ”හැම තැනම මේ වැඬේ වෙනවා. මේවට ප‍්‍රාදේශීය දේශපාලකයින් සම්බන්ධයි. දේශපාලකයින්ට අතයට ගාණක් දීලා මේ වැඬේ කරගෙන යනවා. ඒ නිසා මේවා වහාම නතර කරන්න  ඕනෑ. සූරියවැව පස් කැපිල්ල වහාම නතර කරන්න නියෝග කරන්න. ඒ වගේම මාර්තු 10වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්න.” කමිටු සභාපති විජිත හේරත් නිලධාරීන්ට කියා සිටියේය. 

ජනපති කලකිරීමෙන්

තම චරිතය ඝාතනය වන අන්දමින් හා තම ප්‍රතිරූපයට හානිකර අන්දමින් “ෆේස් බුක්” ඇතුළු සමාජ ජාලා වබේ අඩවි හරහා  සිදු කෙරෙන ප්‍රචාරයන් සම්බන්ධව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල සිටින්නේ දැඩි කලකිරීමකිනි. විශේෂයෙන්ම “ෆේස් බුක්” හරහා ප්‍රචාරය වන විවිධ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් රටට හා සමාජයට විශාල හානි සිදුවිය හැකි බවද ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ඒ අනුව මෙම සමාජ ජාලා හරහා  පැතිර යන සාවද්‍ය තොරතුරු හා “මඩ ගැසීම” පාලනය කිරීම පිළිබඳ කරුණු සොයා බැලීමට ජනපතිවරයා පසුගියදා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානින් ඇතුළු නිලධාරින්  කිහිප දෙනෙකු තම කාර්යාලයට කැඳවිය. “මේ සමාජ ජාලා හරහා  ප්‍රචාරය වන වැරදි තොරතුරු මැඩලීමටත් පාලනය කිරීමටත්, නීතිය මගින් පියවරක් ගන්න වෙනවා. නැතිනම් මේක සමාජ උවදුරක් බවට පත්වෙනවා” යැයි ජනපතිවරයා මෙහිදී අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් වෙත අවධාරණය කළේය. සමාජ ජාලා හරහා ප්‍රචාරය වන මෙවැනි මඩගැසීම් සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වයන් පිළිබඳව මෙහිදී අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී.

“මේ නීති තවදුරටත් ප්‍රයෝගික වෙන්න ඕන. විධිමත් වෙන්න ඕන. මෙවැනි මඩ ගැසීම්, චරිත ඝාතනවලට ඉඩ තියන්න හොඳ නැහැ”යැයි මෙහිදී ජනපතිවරයා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පසුගියදා කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වින. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී කුමන ආකාරයේ සබඳතාවයක් පවත්වා ගත යුතුද යන්න එහිදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු ප්‍රශ්න කර සිටියේය. 

ශ්‍රීලනිප - ඒකාබද්ධ දීගයට මෛත්‍රීගේ කැමැත්ත

“ඒකාබද්ධ” විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ටද ශ්‍රී ලංකා පක්ෂය සමග එකට එක් වී කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැහැ”යැයි  මෙහිදී ජනපතිවරයා සඳහන් කළේය. තමා කිසිවකු සමග වෛරයෙන් පසුවන්නේ නැති බවත්, තම අපේක්ෂාව වන්නේ සියලු දෙනා එක්කරගෙන පක්ෂය ශක්තිමත් කරලීම වන බවත් ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වී ඇතැයි කවුරුහරි හිතනවානම් එය වැරදියි.” යැයිද ජනපතිවරයා මෙහිදී පැවැසීය.

රජයේ ඇතැමුන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. “හොරකම් කරන, වැරදි කරන අය පසුගිය රජයෙත් සිටියා. මේ රජය  කාලයෙත් හොරකම් කරන අය ඉන්නවා. මම කටයුතු කරන්නේ ඒ ගැන අවබෝධ කරගෙනයි” යැයි මෙහිදී ජනපතිවරයා දැඩිව පැවැසීය. මේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන්ද  මහ‍ලේකම්  දුමින්ද දිසානායක මහතාද මේ අවස්ථාවට එක් වූහ.

මහින්ද සනත් එක්ක පොඩි ගමනක් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී  පිටතට යන අවස්ථාවේදීද සභා ගැබේ දොරටුව අසලදී සනත් නිශාන්ත මහතාව මුණ ගැසිණ. “සනත් අද විශේෂ වැඩක් නැත්නම් යමු මා එක්ක ‍පොඩි ගමනක්” යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව සනත් නිශාන්ත මහතාද කිසිදු පැකිලීමකින් තොරව රාජපක්ෂ මහතා සමග ගොස් ඔහුගේ රථයට ගොඩ විය. රාජපක්ෂ මහතා කෙළින්ම පැමිණියේ විජේරාමයේ පිහිටි තම නිවසටය. ඒ අවස්ථාවේ එම නිවසේ දේශපාලන රැස්වීමක් පැවැත්විණ. ඒ සඳහා නාමල් රාජපක්ෂ මහතා, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම දේශපාලන කතාබහ පැය කිහිපයක් පුරාම පැවැත්විණ. මෙහිදී හිටපු ජනපතිවරයා තම පුතු වන නාමල් රාජපක්ෂ මහතාගෙන් විශේෂ පැනයක් මෙසේ විමසීය. “නාමල් ඔයා ළඟදී කොහේදී හරි ප්‍රකාශ කළාද සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් එක වැරදියි කියල.” “ඔව් මම අවස්ථා කිහිපයකදීම එහෙ කිව්වා” යැයි නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය. “මෙම කතාබහට සනත් නිශාන්ත මහතාද එක්විය.”

“නාමල් රජපක්ෂ මන්ත්‍රීතුමා රජයේ ඉන්නකොටත් ඔය ප්‍රකාශය කරල තියෙනවා. එදත් නාමල් මන්ත්‍රීතුමා සිටියේ ඔය ස්ථාවරයේම තමයි.” සනත් නිශාන්ත මහතා පැවැසීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.

ෆොන්සේකා ගැන මහින්ද දුකින්

“ඔව්. මට ඒ කාලෙත් නාමල් වගේම ගෝඨත් කිව්ව. සරත් ෆොන්සේකාව ඉක්මනට නිදහස් කරන්න කියල. මමත් ඒකට උත්සහ කළා. ඒ සඳහා අවශ්‍ය ලිපියක් මට ලබා දෙන්න කියල. අනෝමා ෆොන්සේකාගෙනුත් මම ඉල්ලුවා. ඒ ලිපිය ලබා දෙන්නත් එයා ප්‍රමාද වුණා. ඒ වගේම යුද අධිකරණයක් ලබා දුන් තීන්දුවක් නිසාත්, ෆොන්සේකා නිදහස් කරන එක ටිකක් ප්‍රමාද වුණා. නමුත් මම ඒ සඳහා උත්සාහ කළා.” පසුගියදා ගම්පහ ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී තවත් විශේෂ රැස්වීමක් පැවැත්විණ. ගම්පහ කාන්තා බල මණ්ඩල රැස්වීමටද මේ හා සම්බන්ධව පැවැත්විණ.

මේ රැස්වීමට, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහභාගි වූයේ අසනීප තත්ත්වයක සිටය. “මම මේ රැස්වීමට ආවේ රෝහලෙන් අවසර අරගෙන. මේකට එන්නම ඕන නිසා.” යැයි වන්නිආරච්චි මහත්මිය මෙහිදී රණතුංග මහතාට පැවැසීය. කෙසේ වෙතත් රැස්වීම ආරම්භ වූ පසු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉතා වේගවත් කතාවක් කළාය.

කතාවෙන් අනතුරුව වන්නිආරච්චි මහත්මිය වෙතට පැමිණ රනණතුංග මහතා මෙසේ පැවැසුවාය. “කතාව කරපු විදිහට නම් අක්කට අසනීපයක් තියෙන බවක් දැනුනෙවත් නැහැ. කතාව ඒ තරම්ම වේගවත්.” “ඔව්. මල්ලී කොයිතරම් අසනීප තිබුණත් අපේ යුතුකම අපි කරන්න ඕනනේ. දැන් මේ ආණ්ඩුව පෙරළිය යුතු බවට ජනතාව තුළ මතයත් ඇති වෙලා ඉවරයි. නමුත් අපි ඒ මතයට තවත් උදව් කරන්න ඕන.” යැයි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

“මැතිවරණයක් ළඟ නැති එක ගැන කියල ආණ්ඩුව ජනතාව අධෛර්යට පත් කරනවා. ඒකට විසඳුමක් අපි  ලබා දෙන්න ඕන” යැයි රණතුංග මහතා මෙහිදී පැවැසීය. “ඔව් පළාත් පාලන මැතිවරණය තමයි ඒකට විසඳුම. අපි කොහොමහරි පළාත් පාලන මැතිවරණය ඉක්මන් කරගන්න, රජයට බලකරන්න ඕන” යැයි වන්නිආරච්චි මහත්මිය එවිට  දැඩි ස්වරයෙන් පැවැසුවාය.”

Rate this item
(0 votes)
Last modified on Friday, 24 February 2017 19:00