August 14, 2020

හැරී සහ මේගන් තමන්ගේ දරුවාගේ ෆොටෝ ගත්තාට නඩුවක් දමයි

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් වන හැරී සහ මේගන් යුවලගේ මාස 14ක් වයසැති පුතුගේ ඡායාරූපයන් අනවසරයෙන් ලබා ගත්තා යැයි කීර්තිමත් අය හඹා ගොස් ඡායාරූප ගන්නා කැමරාකරුවන් හෙවත් පැපරාසි ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුට නඩු දැමීමට එම යුවල තීරණය කර තිබේ.

මෙම නඩුව ගොනු කර ඇත්තේ ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය.

තමන් සහ තමන්ගේ දරුවාගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ලාභය හා ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් මෙම ඡායාරූප ගැනීම කළ බවට ඔවුන් නඩුව ගොනු කිරීමේ දී පවසා තිබේ. එමෙන්ම තමන්ගේ නිවසට ඉහළ අහසේ හෙලිකෝපටර් යානා සහ ඩ්‍රෝන යානා මඟින් ද ඡායාරූප ගනිමින් තමන්ගේ පෞද්ගලිකත්වයට බාධා කළ බවටද මෙම නඩුව තුළ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

මෙම නඩුව තුළින් තමන්ට විශේෂ අවධානයක් අවශ්‍ය නොවන බව පවසන හැරී සහ මේගන් යුවල කැල්ෆෝනියා ප්‍රාන්තයේ නිවසක් තුළ පුරවැසියෙකුට පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් ජීවත් වීම සඳහා අයිතියට බාධා නොකරන ලෙසත් ඒ අයිතිය ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලෙන් ඈත් වී ජීවත් වෙන මෙම යුවල මේ වන විට ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියි.

ඔවුන් රාජකීය පවුලෙන් ඉවත් වීමත් සමඟ ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ අලුත උපන් දරුවා පැපරාසි මාධ්‍යයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්වී තිබුණි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 July 2020 15:11

Live