April 20, 2024

සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි - මහ රැජින කියයි

ගෝලීය වසංගතයක් වන ‘කොවිඩ්-19’ හෙවත් මාරාන්තික නව කොරෝනා වයිරසයට එරෙහිව සිය දිවි දෙවැනි කොට සටන්වදින ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ උද්‍යෝගය හා කඩිසරකම වෙනුවෙන් විශේෂ ඇගයීමක් හිමිවිය යුතු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (7) ප්‍රකාශ කළාය.

අප්‍රේල් 7 වැනිදා, එනම් අදට යෙදී තිබූ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තියේ නියැළෙන ලොවපුරා සිටින සියලු දෙනාට සුභාශිංසන එක් කරමින් ඇය ඒ බව සඳහන් කළාය. බ්‍රිතාන්‍යයේ මහ රැජින ඒ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.

‘‘සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොවපුරා සිටින සියලු දෙනාට විශේෂ ඇගයීමක් හිමිවිය යුතුයි. මා ඔවුන්ට කෘතඥතාව පළ කරනවා. මේ අවස්ථාවේදී ජනතාවගේ සුවසෙත සහ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනුවෙන් ඔබ පරාර්ථකාමීවත්, ඉතා කඩිසරව හා ඉතා උද්‍යෝගයෙනුත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මා ඔබට කෘතඥ විය යුතුයි. ඔබ මේ මොහොතේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා’’ යැයි මහ රැජින ප්‍රකාශ කළාය.

‘‘මමත් මගේ පවුලත් ඔබට විශේෂ ඇගයීමක් හා සුභාශිංසන පිරිනමනවා’’ යැයි ද මහ රැජින තවදුරටත් කීවාය.

ලොව රටවල් 200කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (7) පස්වරු 7.45 වනවිට 76,420 දෙනකු මරණයට පත්ව ඇත. ඊයේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,363,365ක් ලෙස දැක්විණි. ලොවපුරා කොරෝනා ආසාදනය වී සුව වී ඇති සමස්ත ගණන 292,425ක් විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 April 2020 21:25