April 23, 2024

චීනයේ අලුත උපන් බිළිඳා ලාබාලතම කොරෝනා ආසාදිතයා බවට පත්වේ

February 06, 2020

ඉපදී පැය 30ක් ගත වූ බිලිඳකුට මාරාන්තික කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.  

මේ අනුව 550කට වැඩි පිරිසකට මරු කැඳවමින් රටවල් 24කට වැඩි ප්‍රමාණයකට පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වූ ළාබාලතම පුද්ගලයා මෙම බිලිඳාය. 

මෙම බිලිඳා උපත ලැබුවේ පෙබරවාරි (2) වැනිදාය. මෙම දරුවාට මව ගර්භණී සමයේදී, උපත ලබන අවස්ථාවේදී හෝ ඉන් පසුව හෝ මවගෙන් කොරෝනා වයිරසය වැළඳෙන්නට ඇතැයි චීන වෛද්‍යවරු පැවැසූහ.

මවට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව ද වෛද්‍යවරු කීහ. මෙම දරු උපත සිදුවූයේ මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ වූහාන් නගරයේදීය. 

පසුගිය සතියේදී කොරෝනා වයිරසය ආසාදනය වූ මවක දරු ප්‍රසූතියක් කළ අතර එම දරුවාට කොරෝනා වයිරසය වැළැඳී නැතැයි චීන මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය ආසාදනය වූ වයස්ගතම තැනැත්තා 90 හැවිරිදි පුද්ගලයකු බව ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවය සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් මිය යන පිරිසෙන් සියයට 80කට වැඩිදෙනා අවුරුදු 60 ඉක්මවූ රෝගීන් යැයි ද කොමිෂන් සභාව කීවේය.

Rate this item
(0 votes)