April 25, 2024

කාන්තාර පළඟැටියන් නැගෙනහිර අප්‍රිකාව ආක්‍රමණය කරයි

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය චීනය දෙසට යොමු වී තිබෙන වෙලාවක නැගෙනහිර අප්‍රිකාව ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටි.
මෙම අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ කාන්තාර නිජබිම කරගෙන සිටින කාන්තාර පළඟැටියන් හෙවත් Desert Locusts ලා හේතුවෙනි.

මේ වන විට නැගෙනහිර අප්‍රිකාවේ විශාල වගා හානියක් මෙම කාන්තාර පළඟැටියන් විසින් සිදුකර ඇතිබව සඳහන් වෙනවා.

කෙන්යාව මෙම ආක්‍රමණය තුළ විශාලම හානියකට මුහුණ දුන් රට විදියට හැඳින්විය හැකි. එහිදී සිදු වු දැඩි හානිය නිසාම කෙන්යානු රජය අමෙරිකානු ඩොලර් මිලියන 05ක් පමණ ⁣මෙම පළඟැටි ආක්‍රමණය පාලනය කිරීම සඳහා යොදවා ඇතිබව සඳහන් වෙනවා. කෙන්යාව වසර 70 වකට පසුව මුහුණ දුන් දැඩිම පළඟැටි ආක්‍රමණය මෙය බවයි සඳහන් වෙන්නේ.

මෙතරම් විශාල පළඟැටියන් ප්‍රමාණයක් නිර්මාණය වීමට පසුගිය 2019 වසරේ දී පැවැති දේශගුණික තත්ත්වයන් බලපාන්නට ඇතිබව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔක්තොම්බර් සහ දෙසැම්බර් කාලය තුළ ඇති වූ වර්ෂාවත්, අක්‍රමවත් කාලගුණික තත්ත්වයන් මෙයට හේතුවන්නට ඇතිබවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මීට පෙරද 2007 වසරේ දී මෙලෙස කාන්තාර පළඟැටි ආක්‍රමණය සිදුව ඇති අතර මෙම වර්ෂයට වඩා එය ඉතාමත් පහත් අගයක් ගත් බව සඳහන් වෙනවා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්මාන්තය පිළිබඳ සංවිධානය පෙන්වා දෙන ආකාරයට වසර 25කට පසුව නැගෙනහිර අප්‍රිකානු කලාපය තුළ සිදු වු විශාලතම පළඟැටි ආක්‍රමණය මෙය බව සඳහන් වෙනවා. CNN මාධ්‍ය වාර්තා කරන අන්දමට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානය කියා තිබෙන්නේ මෙය ඉතාමත් ඉහළ මට්ටමේ අවදානමක් බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නැගෙනහිර අප්‍රිකාව තුළ දැනටමත් මිලියන 19ක පිරිසක් ආහාර මද භාවය හේතුවෙන් පීඩා විඳින බවත් මෙම පළඟැටි ආක්‍රමණය එය තවත් ත්‍රීව කරන බවත්ය.

ඒ අනුව පළඟැටි ආක්‍රමණය පාලනය කිරීම සඳහා එම සංවිධාන විසින් මාස 06ක ක්‍රියාකාරී සැලැස්මක් ද නිර්මාණය කර ඇතිබව සඳහන් වෙනවා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 70ක් වැයවෙනු ඇතිබව ගණන් බලා තිබෙනවා.

සාමාන්‍ය පළඟැටියන්ට වඩා විශාල ලෙස ආහාර ප්‍රමාණයක් ලබා ගැනී⁣මත් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවත් මෙම පළඟැටියන්ට ඇතිබවයි Food and Agriculture Organization (FAO) සංවිධානය පවසන්නේ. මෙම කාන්තාර පළඟැටියන් දිනකට කිලෝ මීටර් 130 ක පමණ දුරක් පියාසැර කළ හැකි බවද එම සංවිධානය පවසා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 January 2020 09:24