April 20, 2024

හැරී-මේගන්ගේ පෞද්ගලිකත්වය රකින බව කැනේඩියානුවෝ කියති

රාජකීය භූමිකාවෙන් ඉවත් වූ හැරී-මේගන් යුවල කැනඩාවේ ගතකරන නිදහස් ජීවිතයට අදාළව ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බව ඔවුන්ගේ නව අසල්වැසියෝ පවසති.

හැරී-මේගන් යුවල රජ පවුලෙන් ඉවත් වීමට ඉකුත් දා තීරණය කළ අතර එම තීරණය රජ මාලිගය කැලඹීය.

ඒත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින හදිසි රැස්වීමක් කැඳවූ අතර හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු, හැරී කුමරුන්ගේ සහෝදරයා වන විලියම් කුමරු ඇතුළු රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක් ඊට එක්වූහ. එම සාකච්ඡාවෙන් පසු රාජකීය වගකීම් අඩු කර වැඩි කාලයක් නිදහසේ ගත කිරීමට හැරී-මේගන් යුවල ගත් තීරණයට මහ රැජිනගේ අවසරය හිමිවිය.

ඒ අනුව හැරී-මේගන් යුවල තවදුරටත් රජ පවුලේ තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය සෙනසුරාදා (18) නිවේදනය කළේය.

එසේ වුවත් චාල්ස් සහ ඩයනා දෙපළගේ බාල පුත් වන හැරීට ‘රාජකීය කුමරු’ යන්නත් හැරී-මේගන් යුවලට සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාම ද භාවිත කළ හැකිය.
හැරී-මේගන් යුවලට මාස 8ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැට්න්ය. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.

හැරී-මේගන් යුවල දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ වැන්කුවර් දූපත්වල උතුරු සානික්හි අසල්වාසීන් සමඟය. එම පරිසරය ගස් කොළන් සහිත සුන්දර පරිසරයකි. කෙසේ නමුත් ඔවුන් ජීවත් වන්නේ දැවැන්ත ගහ කොළවලින් වටවූ මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී නිවසක ය.

නිවසට යා යුත්තේ පෞද්ගලික පාරකින් වන අතර ඒ මාර්ගය අවසානයේ අඳුරු ලෝහ ගේට්ටුවකි.
රාජකීය භූමිකා අවසන් කර අදාළ ලියකියවිලි ආදී නිල කටයුතු අවසන් කිරීමෙන් පසු හැරී කුමරුද මෙම නිවසට පැමිණ සිටී.

හැරී-මේගන් යුවලට ඔවුන්ගේ නිදහස ලබාදෙන බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් ප්‍රදේශවාසීහු කීහ.  

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි 

Rate this item
(1 Vote)