March 28, 2024

ෆොනී සුළි කුණාටුව තව ත් පැය කිහිපයකින් ඉන්දියාවට

ෆොනී සුළි කුණාටුව අද පෙරවරුවේ ඔරිස්සා වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් පුරෝකතනය කරති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දශක දෙකකට පසුව ඉන්දියාවට බලපාන ප්‍රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බවයි.
 
කාලගුණ අනාවැකිවලට අනුව පැයට කිලෝමීටර් 170 – 180 ත් අතර වේගයකින් සුළි කුණාටුව හමා යනු ඇති බවත් ඇතැම් විට එහි අගය පැයට කිලෝමීටර් 200 ක් දක්වා ඉහළ යා හැකි බවත් සඳහන් ය.
 
සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව ඉන්දීය බලධාරීන් සඳහන් කරති.
 
ඉන් ඔරිස්සා ප්‍රාන්තයට මෙන්ම තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ ඇතුළු අසල්වැසි ප්‍රාන්තවලට ද දැඩි හානි සිදුවනු ඇති බවට මේ වන විටත් අනාවැකි පළ කර තිබේ.
 
මේ හේතුවෙන් කල්කටා ගුවන්තොටුපොළ අද පෙරවරු 9.30 සිට හෙට උදැසන 6.00 දක්වා තාවකාලිකව වසා දැමීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට අමතරව දුම්රිය ගමන් වාර 200 ක් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.
 
ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන වරාය දෙකක මෙහෙයුම් නතර කිරීමට ද ඉන්දීය බලධාරින් පියවර ගෙන තිබුණි.
 
මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයක් ද තාවකාලිකව අත්හිටුවීමට එරට දේශපාලන පක්ෂ කිහිපයක් පියවර ගෙන තිබේ.
Rate this item
(0 votes)