April 19, 2024

ඉන්දියාව වටා තාප්පයක් ඉඳි කිරීමට සැරසෙයි

රට වටා වැට බඳින කතාවන් ආයෙත් කරළියට ආවේ වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව වෙන් වෙන විදියට දැවැන්ත තාප්පයක් දේශ සීමාවේ ඉඳි කිරීමට තමන් සුදානම් වන බව පැවසීමත් සමඟයි.

මේ ආකාරයේ ම දෙයක් ඉන්දියාවත් කරන්න සුදානම් වන බව සඳහන් වෙනවා. ඒ පාකිස්ථානය සහ බංග්ලාදේශය වෙන් වෙන සේ දැවැන්ත බාධකයක් නැත්නම් තාප්පයක් ඉඳි කරමින්.

ඉන්දියානු රජය පවසන විදියට නම් මේ වෙද්දීත් රට වටේ ම ඒ කියන්නේ 90%ක ප්‍රමාණයක ආරක්ෂිත වැ⁣ටක් බැඳලා තියෙනවා. ඒත් ඔවුන් පවසන්නේ ඒ වැට තිබුණට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්වලත්, නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක් නැති බවයි.

දැනට ලෝකයේ දිර්ඝතම දේශ සීමා වැට පවතින්නේ එක්සත් ජනපදය සහ කැනඩාව අතරයි. එය සැතපුම් 5000කට වැඩි බවයි සඳහන් වෙන්නේ. ඉන්දියාව ඉඳි කරන්නට යන මේ තාප්පය එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර ඉඳි කරන්නට යන තාප්පය මෙන් දෙගුණයක් වන බව සඳහන් වෙනවා.

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන රාජ්නාත් සිංග් මහතා පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර ඇති ඉන්දියානු දේශ සීමාව සම්පුර්ණයෙන් ම මුද්‍රා තැබීමට රජය සුදානම් වන බව පසුගිය දා තහවුරු කර තිබුණා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ,

"ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින දේශ සීමාව තවත් තර කිරීමට ඔවුන් ට හැකි ඉක්මණින් කටයුතු කරනවා. මම දන්නවා මේක තරම අපහසු කටයුත්තක් කියලා, මොකද මේ දේශ සීමාව තුළ ගංඟා, කඳු වැටි, වනාන්තර පිහිටලා තියෙනවා."  යැයි ඔහු ආරක්ෂක උපාධි පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමින් පවසා තිබුණා.

ඔහු වැඩි දුරටත් එහිදී කියා තිබුණේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති දේශ සීමාව ද ඉතාමත් ඉක්මණනින් තර කරන බවයි.

CIA World Factbook එකට අනුව ඉන්දියාව රටවල් 6ක් වටා තමන්ගේ දේශ සීමාව ඉඳි කොට තිබෙන අතර එහි දුර සැතැපුම් 8,600ක් නැතිනම් කි.මී 13,000ක් වන බව සඳහන් වෙනවා.

මෙම තාප්පය ඉඳි වුණොත් එය ලෝකයේ දේශ සීමාවක් වටා ඉඳි කර ඇති දිර්ඝතම තාප්පය වන බව නම් නොඅනුමානයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 April 2019 08:56