March 28, 2024

නවාස්ගේ ඉල්ලීම් අහක දැමූ ඉම්රාන්ගෙන් සැර උත්තරයක්

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෝකයේ දැඩි අවධානයක් හිමි කරගන්නට සමත් වී තිබෙන බව පෙනී යයි. පසුගිය දා ඉන්දීයාව සමඟ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තුළත් ඔහුගේ හැසිරීම හා ඔහුගේ ක්‍රියාකලාපය බොහෝ දෙනා පැසසුමට ලක් කර තිබුණා. බොහෝ දෙනා මේ නව අග්‍රමාත්‍යවරයා වන ඉම්රාන් ඛාන් පාකිස්ථාන දේශපාලනයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ද විශ්වාස කරනවා.

ඉම්රාන් ඛාන්ගේ නම නැවත කරළියට ඇවිත් තිබුණේ ඔහු කළ තවත් ක්‍රියාවක් නිසායි. පාකිස්ථානයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකු සහ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ් ගේ ඉල්ලීමක් ඉවත දමන්නට ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාය කටයුතු කර තිබුණේ අපේ රටේ දේශපාලකයන්ටත් හිතන්නට යමක් ඉතිරි කරලා.

මූල්‍ය වංචාවක් හේතුවෙන් පාකිස්ථානයේ කොට් ලක්පත් සිරගෙදර සිර ගතකොට ඇති නවාස් ෂරිෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව සඳහන් වෙනවා.
ඒ නිසා ඔහුට විවේකය සමඟ ප්‍රතිකාර ලබා ගත යුතු බව වෛද්‍යවරුන් විසින් පවසා තිබුණා. නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂය වන ඉස්ලාමි ජම්යොරි ඉටේෂාඩ් නැතිනම් ඉස්ලාමීය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් වර්තමාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත විශේෂ ඉල්ලීමක් කරමින් ඉල්ලා තිබුණේ නවාස් ෂරීෆ් ට විදෙස් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි.
නමුත් මෙම ඉල්ලීම ඉවත දැමූ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් රජයට නියෝග කර තිබුණේ නවාස් ෂරීෆ් ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පාකිස්ථානය තුළ ඇති ඔහු කැමති ම රෝහලකට යාම සඳහා පහසුකම් සපයන ලෙසයි. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ ජේෂ්ඨ මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කර තිබුණා.

ඔහු පවසා තිබුණේ මෙවන් දෙයක්,

"හිටපු අගමැති නවාස් ෂරීෆ් ට විදෙස් ගත වීමට අවසර දීම සඳහා අපි නීතිය සංශෝධනය කළ යුතුද?, වසර 30ක් තිස්සේ් රට පාලනය කළ අය කර්මාන්ත ශාලා 30ක් හදපු අයට ඔවුන්ගේ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හොඳ තත්ත්වයේ තියෙන එක් රෝහලක් හදා ගන්න බැරි තරමට අසමත් වුණා" යැයි ජේෂ්ඨ මාධ්‍යවේදීන් අමතමින් ඉම්රාන් ඛාන් පවසා තිබුණා.

මෙම ප්‍රකාශයන් සමඟ නවාස් ෂරීෆ්ගේ පාක්ෂිකයන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාට චෝදනා කර තිබුණේ "නවාස් ෂරීෆ්ට කුමක් හෝ සිදු වුණොත් එහි වගකීම ඔහු බාර ගත යුතුයි" යැයි පවසමින්.

එයට පිළිතුරු ලබා දුන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ ඔවුන්ට එක් හොඳ රෝහලක් හදා ගන්න බැරි වුණු හේතුවට තමා වගකිව යුතු නොවන බව පවසමින්. එමෙන් ම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා නවාස් පාක්ෂිකයන්ගෙන් ද පැනයක් අසා තිබුණා.

ඒ ප්‍රශ්නය වුණේ "පාකිස්ථානයේ සිරගෙවල්වල සිරකරුවන් 150,000ක් පමණ සිටිනවා, ඔවුන්ටත් ප්‍රතිකාර අවශ්‍යය වුණාම ඔවුන් සියල්ලත් විදෙස් ගත කොට ප්‍රතිකාර ලබා දිය යුතුද?" යන්නයි.

ඉම්රාන් ඛාන් ජනාධිපතිවරයා මින් ඔප්පු කර පෙන්නුවේ රටේ සිරකරුවාට ඇති නීතිය දේශපාලකයෙකු සිරගත වූවද වෙනස් නොවන බව නොවේ ද? දේශපාලකයාට ප්‍රතිකාර ලබා ගැනීමට තමන්ගේ රටේ සෞඛ්‍ය සහ රෝහල් සේවය තුළ විශ්වාසයක් නොමැති නම් රටේ ජනතාව ඒ සේවාව ගැන කෙසේ විශ්වාස තැබිය යුතුද යන්නත් මේ ඉම්රාන්-නවාස් සිදුවීම තුළින් මනාව ඔප්පු වන බව නම් පැවසිය යුතුමයි.

අප රටෙත් ලෝකයේ හොඳම සෞඛ්‍ය සහ රෝහල ලෙස පම්පෝරිය කෙතරම් ගැසුවත් මැති-ඇමැතිවරුන් ලෙඩක් දුකක් හැදුණු විගසම යන්නේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් වෙතයි. ඒ අපේ රටේ පාලකයන්ටත් මේ රටේ රෝහල් සේවය ගැන ඇති සැක සංකාවන් නිසා නොවේ ද?
Rate this item
(2 votes)