March 29, 2024

ඕස්ට්‍රේලියාවේ වෙරළකින් හමු වු මෝලා (PHOTOS)

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළකට ඉතාමත් දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකු ගොඩ ගැසූ අපුරු පුවතක් වාර්තා වෙනවා.

දකුණු ඕස්ට්‍රේලියාවේ කූරොන්ග් ජාතික උද්‍යානයේ වෙරළ තීරයට මෙලෙස ගොඩ ගසා තිබුණේ සන්ෆිෂ් (sunfish) ලෙසින් හඳුන්වන මත්ස්‍යයෙක්. ස්ටීවන් ජෝන්ස් සහ හන්ටර් චර්ච් නම් ධීවරයන් දෙදෙනෙකු තමයි මේ අපුරු මත්ස්‍යාව සොයාගෙන තිබුණේ. ඔවුන් ට්‍රක් රථයේ පාරේ ගමන් කරමින් සිටිය දී වෙරළයට ගොඩ ගසා තිබුණු කොටයක් ලෙසයි මුලින් ම මේ මත්ස්‍යාව දැක තිබුණා. නමුත් මේ කොටය තරමක් වෙනස් හැඩයකින් යුතු බව ඔවුන්ට වැටහීමත් සමග ට්‍රක් රථය නවත්වා පරික්ෂා කරනවා. ඉන් පසුවයි ඔවුන් ඒ දැවැන්ත මත්ස්‍යයෙකු බව දකින්නේ.

ඉතාමත් දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන සාගරයේ ජීවත් වන සන්ෆිෂ් නැතිනම් මෝලා මෝලා (Mola mola) මත්ස්‍යයන් මීටර් 1.8 - 2.5ක් (අඩි 5.9 - 8.2ක්) පමණ දිගකින් යුක්ත වෙනවා. මොවුන්ගේ උපරිම විශාලත්වය ලෙස දිග මීටර් 3.3ත් ( අඩි 10.8ත්) සහ, 4.2ත් (අඩි 14ක් ) අතර අගයක් වන බව සඳහන් වෙනවා. මොවුන් දැවැන්ත ජෙලි ෆිෂ්ලා ආහාරයට ගන්නා බවත් සඳහන් වෙනවා. ස්ටීවන් සහ ඔහුගේ සහායකයා සොයා ගත් මේ මත්ස්‍යයා මීටර් 1.8ක් පමණ දිගින් යුක්ත වූ බව සඳහන් වෙනවා. එමෙන් ම මේ මත්ස්‍යයන් බරින් කිලෝ ග්‍රෑම් 247ක් සිට 1,000ක් පමණ අතර බරකින් යුක්ත වෙන බවත් සඳහන්. හොඳින් වර්ධනය වූ මෝලා මෝලා මත්ස්‍යයෙකු ට සාමාන්‍ය ප්‍රමාණයේ බොට්ටුවක් පෙරළිමට තරම් පහර දීමක් කළ හැකිය.

එමෙන් ම මේ මත්ස්‍යයන් ට ස්භාවික සතුරන් අඩු බවත් වාර්තා වෙනවා. මිනීමරු තල්මසුන්, මුහුදු සිංහයන් සහ මෝරුන් වැනි සාගරයේ දැවැන්ත විලෝපිකයන්ගෙන් පවා මේ මත්ස්‍යයන් ට හානියක් නැත්තේ ඔවුන්ගේ විශාලත්වය නිසා බවයි සාගර පර්යේෂකයන් පවසන්නේ. නමුත් මෙම මත්ස්‍යයන්ගේ මාංශ ලබා ගැනීම සඳහා ධීවරයන් අතින් ඝාතනය වෙන බව සඳහන් වෙනවා.

ස්ටීවන් සහ ඔහුගේ සාහකයා ධීවරයන් වුණත් මීට පෙර මෙවැනි මත්ස්‍යයෙක් දැක තිබුණේ නැති බව පවසා තිබුණා.

නවීන තාක්ෂණය ඔස්සේ මේ මත්ස්‍යයන් ගැන කර තිබෙන පරික්ෂණ අඩු බව නිසාත්, මෙම මත්ස්‍යයන් දුර්ලභ නිසාත් ඔවුන් ගැන සඳහන් වන තොරතුරු අඩු බවයි වාර්තා වෙන්නේ. ඒ නිසා මේ මත්ස්‍යයාගේ මරණය සිදු වු ආකාරය ගැන සොයා ගන්නට අපහසු බවත් දකුණු ඕස්ට්‍රේලියානු කෞතුකාගාර බලාධාරීන් පවසා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 March 2019 11:45