April 24, 2024

කෙන්යානු ඇත් රැජීන ජීවිතයට සමු දෙයි

ලෝකයේ ජීවත් වන සුපිරි ඇත්දළ (super tuskers) සහිත ඇතුන් අතරින් තවත් සාමාජීකාවක් ජීවිතයෙන් සමුගෙන තිබේ.

කෙන්යාවේ ජීවත් වු මෙම ඇතින්නිය නම් කර තිබුණේ F_MU1 නමිනි. ඇයගේ දළ පොළොව ස්පර්ශ වන තරමට දිගුවට නිර්මාණය වී තිබීම නිසා ඇය සුපිරි ඇත්දළ සහිත ඇතින්නියක් ලෙස නම් කර තිබේ. කෙන්යාව⁣ට ආඩම්බරයක් ගෙන ආ මෙම ඇත් රැජින එරට බලධාරීන් විසින් කෙන්යානු ඇතුන්ගේ රැජින ලෙස ද නම් කර තිබුණ අතර ඇය කෙන්යාවේ ජීවත් වන අැතුන් අතරින් දළ පොළොව ස්පර්ශවන තරමට වර්ධනය වී තිබුණු අවසාන ඇතින්නිය බවට ද සඳහන් වේ.

ඇයගේ මරණය ස්භාවික අයුරින් සිදු වුවක් බව කෙන්යානු වන ජීවි බලධාරීන් විසින් පවසා තිබුණ අතර ඇය මිය යන විට 60 වැනි වියේ පසු විය.

ප්‍රසිද්ධ වන ජීවි ඡායාරූප ශිල්පියෙකු වන බ්‍රිතාන්‍ය ජාතික Will Burrard-Lucas ඇයගේ ඡායාරූප ගන්නට ගිය අවස්ථාවේ සඳහන් කර තිබුණේ " ඇයව මගේ ඇස්වලින් නොදැක්කා නම්, එවන් සත්ත්වයෙක් මේ ලෝකේ ඉන්නා බවවත් විශ්වාස නොකරන්න තිබුණා." යැයි ඔහු පවසමිනි. 

දැනට වාර්තාවන අයුරින් සුපිරි ඇත්දළ (super tuskers) සහිත ඇතුන් අප්‍රිකාවටම ඉතිරිව ඇත්තේ 30 දෙනෙකු බවයි සඳහන් වේ. F_MU1 දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට පත් වී තිබූ අතර කෙන්යානු බලධාරීන් ඇයගේ ජීවිතය ආරක්ෂා කර ගන්නට සෑහෙන්න වෙහෙසක් දරා තිබිණි. ඇයට පෙර සිටි Satao II නම් ඇතා ද මීට වසර දෙකකට පෙර සුපිරි ඇත් දළ නිසා ඝාතනය විය.

දඩයම්කරුවන්ගේ හා ඇත් දළ ජාවාරම්කරුවන්ගේ ක්‍රියා කලාපයන් නිසා තව වසර කිහිපයකින් අවසාන සුපිරි දළ සහිත ඇතා ද ලෝකයට අහිමි වී යනු ඇති බව පරිසරවේදීන් පවසයි.

Rate this item
(0 votes)