April 23, 2024

ඉක්මනින් සාකච්ඡා මේසයට එන්න - පාකිස්තාන අගමැති

සාවද්‍ය ගණනය කිරීම් මත පිහිටා තීරණ නොගෙන වහාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය පාලනයෙන් ඉල්ලා සිටිද්දී, ත්‍රිවිධ හමුදාවට ස්ථානෝචිතව ඕනෑම තීරණයක් ගැනීමට නිදහස දුන් බව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරයි. ඉන්දියාව පීඩනය හමුවේ නොවැටෙනු ඇති බව මෝදිගේ ප්‍රකාශයේ සඳහන් වේ.

ජාතිය අමතා ප්‍රකාශයක් කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශය ඉන්දීය අගමැතිවරයා ගේ මේ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තරයේ වඩාත් ඇගයීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගමැති ඉම්රාන් ප්‍රකාශ කළේ යුද්ධ යනු වැරදි නිර්ණයන් බවයි. මේ අර්බුදය පිළිබඳව සාකච්ඡා මාර්ගයට පිවිසිය යුතු බවත් දෙපාර්ශ්වයම සතුව පවතින අවිවල ස්වභාවය අනුව, වැරදි ගණනය කිරීම් කරන්න ඉඩකඩ නැති බවත් ඔහු අවධාරණය කරනු ලැබීය. මේ අතර පාකිස්තානය විසින් තමන්ගේ ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ගුවන් හමුදා මාධ්‍ය මධ්‍යස්ථානය පිළිගෙන තිබේ. එම ගුවන් නියමුවා පෙනී සිටින වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහිදී තමන් පාකිස්තාන අත්අඩංගුවට පත් වූ බවත්, ඔවුන් හොඳින් සළකන බවත් ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

පාකිස්තාන ජෙට් යානා ආපසු හරවා යැවූ බවත් එක් යානයක් බිම හෙළූ බවටත් ඉන්දීය බලධාරීන් විසින් කළ ප්‍රකාශය පාකිස්තානය ප්‍රතික්ෂේප කර ඇත. පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසිෆ් ඝෆූර් ප්‍රකාශ කළේ කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාර එල්ල කර බිම හෙළූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකෙන් එකක් පාකිස්තාන පාලන ප්‍රදේශයට ද, අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයට ද කඩා වැටුණු බවයි.

1971 වසරේ යුද්ධයෙන් පසු පාකිස්තාන ඉන්දීය බෙදුම් සීමාව හරහා එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරය මෙයයි. ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර පෙබරවාරි මස කැරලි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් සෙබළුන් 40 දෙනෙකු මරණයට පත් විය.

එය ඉන්දීය පාලිත කාශ්මීරයේ දශක තුනක් ඇතුළත එල්ල වූ දරුණුතම කැරලි ප්‍රහාරයයි.

පාකිස්තානයේ ක්‍රියාත්මක කැරලි කණ්ඩායමක් එහි වගකීම භාර ගනු ලැබීය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 March 2019 11:16