March 29, 2024

පකිස්ථානය විසින් අල්ලාගත් ඉන්දීය ගුවන් නියමුවා අද නිදහස් කරයි

පාකිස්තානය විසින් අල්ලාගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා අද (01) දිනයේ නිදහස් කිරීමට නියමිතය.

ඔහු මේ වනවිට ඉන්දීය ජනතාව අතර වීරයෙකු බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තානය විසින් අල්ලාගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය වැසියන් වීථි බැස තිබුණි.

ඔහු  ඉන්දීය ගුවන් හමුදාවේ සේවය කළ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවෙක් ලෙසය හඳුනාගෙන ඇත.

ඔහු නිරුපද්‍රිතව සිය අත්අඩංගුවේ පසුවන බව දැක්වෙන වීඩියෝ දර්ශන පළ කිරීමට පාකිස්ථානය කටයුතු කළේ ඊට මානුෂීය මුහුණුවරක් එක්කරමිනි.

වරණාසි නගරයේදී අදාළ නියමුවාට ආරක්‍ෂිතව නැවත පැමිණීමට හැකිවන ලෙස ඉල්ලා සිටිමින්  ජනතාව ඔහු වෙනුවෙන් විශේෂ යාච්ඤා පැවැත්වා ඇත.

අමෙරිකාව චීනය ඇතුළු ලෝක බලවතුන් මෙම අවස්ථාවේදී  ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙරටින්ම ඉල්ලා ඇත.

මේ අතර පාකිස්තානය සිය ගුවන් නියමුවා නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් රජය සතුටට පත්වන බව ඉන්දීය ආරක්ෂක බලධාරීන් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණි.

කෙසේ වෙතත් සාමය සඳහා ඉදිරි පියවරක් ලෙස අදාළ නියමුවා නිදහස් කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව හමුවේ පසුගියදා නිවේදනය කළේය.

මෙහිදී ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර වලින් සිදු වූ හානිය පිළිබඳව  නිශ්චිත තොරතුරු සැපයීමට ඉන්දීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් කපූර් සමත්ව නැත.

කෙසේ වෙතත් සිය ගුවන් ප්‍රහාර වලින් කඳවුරට එල්ල වූ හානිය පිළිබඳ විශ්වසනීය සාක්ෂි පවතින බව ඔහු සඳහන් කළේය.

නවදිල්ලි නුවර ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයෙන් පිටත ස්ථානයක් පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට නාවික හමුදා රියර් අද්මිරාල් D.S. ගුජ්රාල් හමුදා මේජර් ජෙනරාල්  සුරින්ද්‍ර සිං මහල් ඇතුළු පිරිසක්ද එක්ව සිට ඇත.

මෙහිදී හමුදා මේජර් ජෙනරාල්  සුරින්ද්‍ර සිං මහල් ප්‍රකාශ කළේ දෙරට අතර මතභේදයට තුඩු දුන් කාශ්මීර කලාපය බෙදා වෙන්කරන දේශසීමාව ආශ්‍රිතව සටන් විරාම උල්ලංඝනය කිරීම් වැඩි වී ඇති බවය.

සිය ගුවන් ප්‍රහාරවලින් පසුව පමණක් එවැනි සිදුවීම් 35ක් වාර්තා වී ඇති බව ඔහුගේ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් විය.

පාකිස්තානය විසින් මුහුදුබඩ කලාපය තුළ සිදුකරන එදිරිවාදිකම් වලට ඕනෑම අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට ඉන්දීය නාවික හමුදාව සූදානම් බව නාවික රියර් අද්මිරාල් D.S.ගුජ්රාල් මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්වාමාහි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූණි.

මෙම සියල්ල ආරම්භ වන්නේ එයින් පසුව වන අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමේදී වඩා සංවේදී කාරණයක් බවට පත්ව ඇත්තේද කාශ්මීර අර්බුදයයි.

1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ පසුව ඉතිහාසයේ තෙවරක් දෙරට අතර යුද්ධ ඇති වී ඇත.

කෙසේ වෙතත් 2002 වර්ෂයේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ පකිස්ථාන සටන්කාමී ප්‍රහාරය දෙරට අතර ගැටුමක් දක්වා දුරදිග ගිය නමුත් එය වළක්වා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Rate this item
(1 Vote)