April 19, 2024

විපක්ෂ නායකගේ බැංකු ගිණුම් අත්හිටුවයි - විදෙස්ගතවීම තහනම් කරයි

වෙනිසුවේලානු ශ්‍රේෂ්ඨාධිකරණය එරට විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ හට රටින් පිටවීම සහ ඔහුගේ බැංකු ගිණුම් අතිහිටුවාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනාධිපති මදුරෝ දෙවර ධූර කාලය සඳහා මැතිවරණයට ඉදිරිපත් වූ අතර එයින් ජයගත් මදුරෝ, එරට ජනාධිපතිවරයා ලෙස යලි දිවුරුම් දුන්නේය. එම මැතිවරණය දූෂිත මැතිවරණයක් බවට විදෙස් නිරීක්ෂකයන්ගේ මතය විය. ඒ සමගම වෙනිසුවේලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ට එරෙහිව රට පුරා විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ විය.

මේ සිදුවීම් අතරතුර එරට විපක්ෂ නායක හුවාන් විසින් තමා අන්තර වාර රජයේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කලේය.

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ තමා වෙනිසුවේලාවේ ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක හුවාන් ගුවායිඩෝ ව පිළිගන්නා බවයි.

නිකලස් මදුරෝ විසින් ඊට පිළිතුරු සැපයූවේ වෙනිසුවේලාවේ වෙසෙන සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හට පැය 72 තුල පිටව යන ලෙස නියෝග කරමිනි.

මේ නිසා වෙනිසුවේලාව විශාල අර්බුදයකට මුහුණපා තිබේ.

මදුරෝ ගේ පාලන කාලය තුල වෙනිසුවේලාවෝ ආර්ථිකය විශාල වශයෙන් පහත වැටී ඇති බවත් අධික උද්ධමනය නිසා ජනතාව එරටින් පලායන බවද විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගුවයිඩෝ හට ලබාදුන් තීන්දුව අසාධාරණ සහ මදුරෝට පක්ෂග්‍රාහී තීන්දුවක් බව විදෙස් මාධ්‍ය පවසයි.

උද්ගතව ඇති තත්වය තුල වෙනිසුවේලාව තව තවත් අස්ථාවර වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 January 2019 12:24