April 20, 2024

ලයන් එයාර් යානය ගුවන්ගත කිරීමට සුදුසු මට්ටමක තිබී නෑ

November 30, 2018

පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාසයේදී අනතුරට පත්වූ ලයන් එයාර් ගුවන් යානය එම අවස්ථාවේදී ගුවන්ගත කිරීමට සුදුසු මට්ටමක නොපැවතී ඇතැයි මේ සම්බන්ධයෙන් සිදුකළ නවතම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

බෝයිං 737 මැක්ස් වර්ගයේ මෙම යානය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපළින් ගුවන්ගතව විනාඩි කිහිපයකට පසුව ජාවා මුහුදට කඩා වැටුණේ එහි ගමන්ගත් සියලු දෙනාට මරු කැඳවමිනි.

මෙම අනතුර සම්බන්ධයෙන් පැවති මූලික පරීක්ෂණවලදී යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව සඳහන් වුවත්, පසුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සිදුකරන ලදී.

අනතුරට පත් බෝයිං 737 මැක්ස් යානය බෝයිං සමාගමේ 737 යානා මාදිලියේ නවතම සංස්කරණය වන අතර, එය වැඩිම අලෙවියක් සහිත ගුවන් යානයක් ලෙසද සැලකෙයි.

මෙම නවතම පරීක්ෂණය සිදුකළ ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව (KNKT) සඳහන් කරන ආකාරයට මෙම අනතුර සිදුවීමට පෙර ගමන් වාරවලදී යානයේ තාක්ෂණික දෝෂ පවතින බව දැන දැනත් එය යළිත් සේවයේ යෙදවීමට කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම, මෙම අනතුරට පෙර බාලි දූපතේ ඩෙන්පසාර් හි සිට ජකාර්තා දක්වා සිදුකළ ගමන් වාරයේදීද යානයේ කාර්මික දෝෂයක් පෙන්වා ඇත.

"මේ අවසන් ගමන් වාරයේදී යානයේ තාක්ෂණික දෝෂයක් පෙන්වා තිබුණත්, යානය ඉදිරි ගමන් වාරය සඳහාත් යොදා ගැනීමට ගුවන් නියමුවා තීරණය කර තිබෙනවා" යැයි එම කමිටුවේ ගුවන් ගමන් පිළිබඳ ප්‍රධානී නූර්චායෝ උටෝමෝ පවසයි.

මේ අතර, යානයේ පැවතී ඇති මෙම දෝෂ සඳහා යම් යම් අලුත්වැඩියා කිරීම් සිදුකළ බවට වූ වාර්තාවන්ද මෙම පරීක්ෂණ වාර්තාවේ දක්වා තිබේ.

"අපේ අදහස වන්නේ, මේ යානය තවදුරටත් ගුවන්ගත කිරීමට සුදුසු මට්ටමක තිබී නැහැ. එය තවත් ගුවන් ගමන් වාරයක් සඳහා යොදා නොගත යුතුව තිබුණා." ලයන් එයාර් අනතුර සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ලෙස දක්වා නොතිබුණත්, මේ සම්බන්ධයෙන් වූ අදාළ කමිටුවේ පරීක්ෂණ වාර්තාව උටෝමෝ සඳහන් කර තිබුණේ එසේය.

එමෙන්ම, මෙම වාර්තාවට අනුව බෝයිං 737 මැක්ස් පවුලේ යානාවලටම අනන්‍ය නව විශේෂාංගයක් වන ඇන්ටි-ස්ටෝල් ඔටෝමේටඩ් පද්ධතිය සම්බන්ධයෙන්ද අවසන් මොහොතේ ගුවන් නියමුවා යම් ව්‍යාකූලත්වයක් පෙන්වා ඇති බව කියැවෙයි.

එහිදී, අදාළ ගුවන් සමාගම විසින් යානයේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාපටිපාටිය නිවැරදිව පවත්වා ගැනීමට ක්‍රියාකළ යුතු බවත්, එය ගුවන් නියමුවාට වඩාත් නිවැරදි තීරණයට එලැඹෙමින්, බාධාවකින් තොර ගුවන් ගමනක් සඳහා මහඟු පිටිවහලක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම, අදාළ මෙහෙයුම් හා නඩත්තු සම්බන්ධ සියලු ලියකියවිලි සුරක්ෂිතව හා නිරවුල්ව තැන්පත් කර තැබීමටද ගුවන් සමාගම කටයුතු කළ යුතුව තිබුණේ යැයි එම පරීක්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)