April 23, 2024

මාධ්‍යයෙන් වසන්ව විවාහ වූ දීපිකා - රන්වීර් යුවළ

November 17, 2018

බොලිවුඩයේ සුරූපී නිළියක වන දීපිකා පදුකෝන් සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රන්වීර් සිං ඉතාලියේ අති සුඛෝපභෝගී හෝටලයකදී විවාහ දිවියට ඇතුළත්ව ඇති පුවත මේ වනවිට සමාජ මාධ්‍ය කලඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

බොලිවුඩයේ අතිශය ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණ වන පද්මාවත් සහ බජිරාඕ මස්තානි ආදී චිත්‍රපටවල එක්ව රංගනයෙන් දායක වූ මෙම නළු නිළි යුවළ එක්ව පසුගිය වසරේ උපයා ඇති මුදල් සම්භාරය පමණක් ඇ.ඩො.මිලියන 21 ඉක්මවන බව ෆෝබ්ස් සඟරාව පවසයි.

ඔවුන් දෙදෙනා මුලින්ම එක්ව රංගනයෙන් දායක වූ රාම් ලීලා චිත්‍රපටයේ පස් වැනි සංවත්සරය යෙදුණු පසුගිය නොවැම්බර් 14 වැනිදාම මෙම විවාහය වෙනුවෙන් දින නියම කරගෙන තිබීමද විශේෂත්වයක් විය.

කෙසේ වෙතත්, සිය පෞද්ගලිකත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ නව යුවළ විවාහ උත්සවය පැවැත්වෙන අවස්ථාවට මාධ්‍යයට අවස්ථාවක් ලබාදී නොතිබුණි.

නමුත්, විවාහයේ පෙර සූදානම් වීම් දැක්වෙන ඡායාරූප ඔවුන් සමාජජාල වෙත මුදාහැරීම හේතුවෙන් ඒවා මාධ්‍යයේ පළ වුවත්, තම විවාහ මංගල්‍යය පිළිබඳව කිසිවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොකරන ලෙස නව යුවල සිය සහෘදයන්ගෙන් ආදරණීය ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී විවාහ උත්සවයට සහභාගී වූ ගායිකාවක සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු කළ ඡායාරූපයක් පැපරාසීන් අතට හසුව තිබුණද, බොහෝ අවස්ථා ඔවුන්ට ගිලිහී තිබුණි.

එමෙන්ම, තම විවාහයට ලැබෙන සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන් විසින් පවත්වාගෙන යන මානසික සුවතා පදනමට ප්‍රදානය කරන ලෙස යුවල ඉල්ලා තිබීමද විශේෂත්වයක් වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)