March 19, 2024

පුරපති ඡන්දයේ ජය යුදෙව් ආගමිකයෙක්ට

November 16, 2018

ඓතිහාසික ජෙරුසෙලම්  නගරයේ පුරපති තනතුර සඳහා තරග වැදුණු යුදෙව් ආගමික අපේක්ෂකයෙක් ඉන් ජයග්‍රහණය කර ඇත.

තවමත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක්ව නැති පලස්තීනය සිය රාජ්‍යයේ නිල නොලත් අගනුවර ලෙස සලකන්නේ නැ‍ගෙනහිර ජෙරුසෙලමයි.

1967 අරාබි - ඊශ්‍රායල් යුද්ධයේ දී ඊට පෙර ජෝර්දානය විසින් අල්ලාගෙන සිටි නැ‍ගෙනහිර ජෙරුසෙලම තම ග්‍රහණයට ගැනීමට ඊශ්‍රායලය ක්‍රියා කළේය. 

එතැන් සිට ඊශ්‍රායලයේ අප්‍රකාශිත අගනුවර ලෙස ඔවුන් සලකන්නේද ජෙරුසලමයි.

පසුගියදා එහි පුරපති ධූරය සඳහා මැතිවරණයක් පැවැත්වුණු අතර එහි දී පුරපති ලෙස තේරී පත් වූ මෝෂේ ලයන් නමැති යුදෙව් ආගමිකයාට ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ සහය හිමි වී  නැත.

අගමැතිවරයාගේ ආශිර්වාදය හිමිවූ අපේක්ෂකයා සහ හිටපු නගරාධිපතිවරයා යන දෙදෙනාටම මෙහිදී පරාජය බාරගැනීමට සිදුව ඇත.

මීට සති දෙකකට ඉහතදී පැවති මැතිවරණයේදී ජෙරුසෙලමේ පුරපති තනතුර සඳහා අපේක්ෂකයින් 5 දෙනෙකු තරඟ කළ අතර ඔවුන් කිසිවෙකුටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය බහුතරය ලබාගැනීමට හැකිවූයේ නැත.

එහි ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර අඟහරුවාදා පැවති අවසන් වටයේ ඡන්ද ප්‍රතිඵල වලට අනුව මෝෂේ ලයන් 52%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කර ඇත.

නැගෙනහිර ජෙරුසෙලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරන අතර එහි පුරපතිවරයා තේරීම සඳහා පවත්වන අදාළ මැතිවරණය සමබන්ධව ඔවුන් තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

ඒ හේතුවෙන් ඔවුන් එය  වර්ජනය කිරීමට  කටයුතු කරන බව විදෙස් පුවත් වාර්තා කර සිටයි.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලයිබර්මාන් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ගාසා තීරයේ සටන් විරාමයක් නම් කිරීමට අගමැති බෙන්ජමීන් නෙතනියාහු ගත් තීරණයට එරෙහිව විරෝධය දැක්වීම එම ඉල්ලා අස්වීමේ අරමුණයි.

මතුව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ බහුතර සහය නෙතනියාහු හට අහිමිවීමේ අවධානමක් ද මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)