March 28, 2024

මාධ්‍යවේදීයාගේ ඝාතනය අත්වැරදීමක්ලු

සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය තමන් අතින් වූ විශාල අත්වැරදීමක් බව සෞදි අරාබිය පවසයි.

මේ අතර ඔහුගේ පෙම්වතියට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සෞදි කොන්සල්  කාර්යාලය තුළ සිදු වූ  සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ මරණය මිනීමැරුමක් බව සෞදි අරාබිය පවසා ඇත.

ඒ සම්බන්ධව ඔවුන් චෝදනා කරන්නේ කොන්සල් කාර්යාලය තුළ සිදු වූ බව පැවසෙන මෙහෙයුමකටයි.

මේ අතර සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඇඩෙල් අල් ජුබීර්  ෆොක්ස් නාලිකාවට අදහස් දක්වමින් පවසා ඇත්තේ ජමාල් කෂෝගිගේ ඝාතනය ඔවුන් අතින් සිදු වූ විශාල අත්වැරදීමක් බවය.

කෙසේ වෙතත් ඒ පිටුපස සෞදියේ ඔටුන්න හිමි කුමරු සිටින බවට එල්ල වූ චෝදනා ඔහු එහිදී ප්‍රතික්ෂේප කළේය.

සිකුරාදා වන තුරු සෞදි අරාබිය ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඔවුන් පැවසුවේ, කෂෝගි කොන්සල් කාර්යාලයෙන් නිරුපද්‍රිතව පිටව ගිය බවය.

අදාළ සිදුවීම මුල් කරගෙන සෞදි අරාබියට ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි පිඩනය හමුවේ ඔවුන් ජමාල් කෂෝගි මරණයට පත් වූ බව පසුගිය සිකුරාදා  පළමු වරට පිළිගත්තේය.

ඔවුන් එහිදී ප්‍රකාශ කළේ, ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයේදී සිදු වූ පොරබැදීමකින් ඔහු මරණයට පත්ව ඇති බවය.

එහෙත්, එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සැක පළ කළේය.

කෙසේ වෙතත් සෞදි අරාබි ප්‍රවීණ මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයේ පැහැදිලි කිරීම පිළිබඳව තමන් "සෑහීමකට පත් නොවන" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කරන බව තුර්කිය පවසා තිබේ.

සිය පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා අවශ්‍ය අවසර ලිපියක් ලබා ගැනීමට ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් තිබුණේ   ඔක්තෝබර් 02 වෙනිදායි.

මේ වනවිට ඔහුගේ පෙම්වතියට දැඩි පොලිස් ආරක්ෂාවක් සැපයීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි.

ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය.

පසුව ඔහු පසුගිය වසරේ අමෙරිකාවට ගොස් වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේය.

මේ අතර, වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගිය බ්‍රහස්පතින්දා කෂෝගි අවසන් වරට ලියූ තීරු ලිපිය පළ කළ අතර එහි අන්තර්ගත වූයේ, අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳවයි.

Rate this item
(0 votes)