April 20, 2024

දුසේරා නැරඹූ 59ක් දුම්රියට බිලි

රාවනාට එරෙහිව රාමාගේ ජයග්‍රහණය හින්දූන් විසින් සමරනු ලබන වාර්ෂික දුසේරා උත්සවයක් දුම්රිය මාර්ගයක සිට නැරඹූ පිරිසක් අධිවේගී දුම්රියක ගැටීමෙන් ජීවිත හානි 59ක් සිදුව තිබේ.

ඉන්දියාවේ උතුරුදිග පන්ජාබ් ප්‍රාන්තයේ, අම්රිට්සාර් ප්‍රදේශය ආසන්නයේ දුම්රිය මාර්ගයක මෙම මාරක රිය අනතුර සිදුව ඇති අතර, ඉන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අනතුර සිදුවන අවස්ථාවේදී රාවනාගේ විශාල අනුරුව ගිනිබත් කරමින් සිට ඇති අතර, විශාල ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්වී ඇත.

ඒ අනුව, අනතුරට පත්වූ පිරිස මෙම උද්වේගකර උත්සවය සමග ඒකාත්මිකව එය ප්‍රීතියෙන් යුතුව නරඹමින් සිටි බවත්, වේගවත් දුම්රිය ඔවුන් කරා පැමිණෙන බව පවා ඔවුන්ට නොදැනී ඇති බවත් සිද්ධිය අසින් දුටුවෝ පවසති.

කෙසේ වෙතත්, මෙසේ දුම්රිය මාර්ගයේ සිට ඔවුන්ට මෙම උත්සවය නැරඹීමට කවුරුන් අවසර ලබාදුන්නේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පන්ජාබ් බලධාරීහු පවසති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සිද්ධිය හඳුන්වා තිබුණේ හදවත උදුරා දැමූ සිද්ධියක් ලෙසිනි.

මේ අතර දුම්රිය අනතුරින් පසුව ඊයේ වනවිට ප්‍රකෝප වූ පිරිස් දුම්රිය මාර්ගයේ සිට උද්ඝෝෂණවල යෙදුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)