April 24, 2024

හැරී-මේගන් කැදැල්ලට අමුත්තෙක්

මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ වසන්ත කාලය වනවිට දරු සුරතල් බලනු ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ.

හැරී කුමරු සහ මේගන් කුමරිය අතර විවාහය පසුගිය මැයි මාසයේදී වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වුණු අතර, ඔවුන් සිය විවාහයෙන් පසුව ආරම්භ කළ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත නිල සංචාරය සමග මෙම නිවේදනය ලෝකය හමුවේ තැබීමද විශේෂත්වයකි.

මෙම පුවත සියලු දෙනා සමග බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් නව යුවළ මහත් සේ සතුටට පත්ව ඇති බවද කෙන්සිංටන් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම, ඔවුන්ට දාව මෙළොව එළිය දකින පුත් කුමරා හෝ කුමරිය බ්‍රිතාන්‍ය සිහසුනේ හත්වැනි උරුමකරුවා බවටද පත්වනු ඇත.

මේ අතර, මෙම පුවත ලෝකයට හෙළි කිරීමට පෙර පසුගිය සිකුරාදා පැවති ඉයුජින් කුමරියගේ රාජකීය විවාහ මංගල්‍යය අවස්ථාවේදී රජ පවුලේ ඥාතීන් වෙත මෙම සුබ ආරංචිය ලබාදී ඇති බවද කියැවෙයි.

ඒ අනුව, මේගන් කුමරිය මේ වනවිට සති 12ක පමණ ගැබිණියක් බව විදෙස් වාර්තා විශ්වාසය පළ කරයි.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස නව යුවළ ඔස්ට්‍රේලියාව, ෆීජි, ටොංගා සහ නවසීලන්තය යන රටවල සිදුකරන නිල සංචාරය දින 16ක් පුරා ඇදී යයි. එමෙන්ම, එලැඹෙන සෙනසුරාදා සිඩ්නි නුවරදී ඇරඹෙන ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් වූ ක්‍රීඩා උළෙලටද සහභාගී වනු ඇත. මෙය හැරී කුමරු විසින්ම මෙම රණ විරුවන්ට උපහාරයක් ලෙස අරඹන ලද්දකි.

Rate this item
(0 votes)