April 19, 2024

උහුරු කෙන්යාටා ධවල මන්දිරයට

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේදී එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

විශේෂයෙන්ම, දෙරට අතර වෙළෙඳාම සහ පවතින ආරක්ෂක තත්ත්වය මෙම සාකච්ඡාවේ මුඛ්‍ය පරමාර්ථය වූ බව ධවල මන්දිරය පවසයි.

පැයක පමණ කාලයකට සීමා වූ මෙම හමුව සඳහා කෙන්යානු ජනපති ආර්යා මාගරට් කෙන්යාටා මෙන්ම, ඇමෙරිකානු ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ද සහභාගී වීම සුවිශේෂීත්වයකි.

එම මූලික හමුවෙන් අනතුරුව ජනපතිවරුන් දෙදෙනා ප්‍රමුඛ දෙරටේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ධවල මන්දිරයේ කැබිනට් කාමරය වෙත පිවිස ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

මේ අතර, ජනපති ආර්යාවන් දෙපළ වෙනත් කාමරයකට පිවිසි බවද විදෙස් වාර්තා පවසයි.

කෙන්යාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ ලෙස සංචාරකයන් පැමිණෙන රටක් ලෙස ඇමෙරිකාව සැලකෙයි.

එමෙන්ම, ඇමෙරිකාව වෙත භාණ්ඩ අපනයනයේ දැවැන්ත රාජ්‍යයක් ලෙසද කෙන්යාව සැලකෙන අතර, දෙරට අතර පසුගිය වසරේ ඇ.ඩො.බිලියන 1.5ක ගනුදෙනු සිදුව ඇති බව සඳහන් වෙයි.

මීට අමතරව, නැගෙනහිර අප්‍රිකානු කලාපයේ සහ අප්‍රිකානු අඟ ලෙස සැලකෙන කලාපය ඇතුළු සෝමාලියාවේ ක්‍රියාත්මක ජිහාඩ් අන්තවාදීන් මර්ධනය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම්වලටද දෙරටේ හමුදා සම්බන්ධ වී සිටිති.

එමෙන්ම, කෙන්යාවේ වරාය නගරයක් වූ මොම්බාසා සිට නයිරෝබි අගනුවර දක්වා ඇ.ඩො.බිලියන 4.5ක වියදමින් ඉදිවන අධිවේගී මාර්ගය සඳහා මුදල් අවශ්‍යතාවද මේ වනවිට කෙන්යාව හමුවේ තිබේ.

මේ අතර, එලැඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ දකුණු අප්‍රිකානු සහ කෙන්යානු සංචාරය ආරම්භ කරන බැවින් කෙන්යාටා සහ මේ අතර හමුවක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)