April 20, 2024

ජනපතිගේ දිවි අනු නවයෙන් බේරෙයි

ඇෆ්ඝනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර ඊයේ (21) එල්ල කෙරුණු ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් එරට ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවාගැනීමට සමත්ව තිබේ.

මිසයිල ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ඝන් ජනපතිවරයා එම මන්දිරය තුළ සිට හජ් සුබ පැතුම් කතාව සිදු කරමින් සිටියදීයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැහැ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි එරට ජනපති මන්දිරය ඉලක්ක කරමින් ත්‍රස්තවාදීන්ගෙන් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත්තේ අද උදෑසන නවයට පමණ.

ඒ වන විට ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි හෙටට යෙදී තිබෙන හජ් දිනය වෙනුවෙන් එම මන්දිරය තුළ සිය සුබපැතුම් කතාව සිදුකරමින් සිට තිබේ.

ත්‍රස්තවාදීන් මෙලෙස ජනපති මන්දිරය දෙසට ප්‍රහාර එල්ල කර ඇත්තේ කාබුල් ආසන්නයේ පිහිටි එද්ගා දේවස්ථාන ප්‍රදේශයේ සිටයි.

රොකට් ප්‍රහාර දොළහක් එල්ල කර ඇති අතර ඉන් දෙකක් ජනපති මන්දිරය ආසන්නයේම පුපුරා ගිය බව වාර්තා වෙයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එරට ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන් සැඟව සිටින බව විශ්වාස කෙරෙන කලාපය ඉලක්ක කරමින් ප්‍රතිප්‍රහාර දියත් කර තිබේ.

ඒ සඳහා හමුදා හෙලිකොප්ටරයක්ද යොදාගත් බව පැවසෙයි.

ත්‍රස්ත ප්‍රහාර පැය එකහමාරක් පමණ ක්‍රියාත්මකව පැවති බවත් ඇෆ්ඝන් හමුදා ඒ අනුව ප්‍රතිප්‍රහාර දියත් කළ බවත් එරට මාධ්‍ය පවසයි.

එහිදී ප්‍රහාරයට සම්බන්ධවූ සියලු ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමට හැකිවී ඇති අතර ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස ඇෆ්ඝනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල වූයේ හජ් සැමරුම නිමිති කරගනිමින් එරට ජනපති අෂ්රෆ් ඝානි මීට දින දෙකකට පෙර තලේබාන් සටන්කාමීන් හට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.  

Rate this item
(0 votes)